ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති මිනිසාගේ මූලික අවශ්‍යතාවක් ලෙස නොසැලකුවද එය අද වන විට මිනිස් ශිෂ්ඨාචරයේ ඉදිරි පැවැත්ම  උදෙසා වැදගත් සාධකයක් බවට පත්ව ඇත. ආහාර පිසීමේ කාර්යය සඳහාද ඈත අතීතයේ සිට විවිධ බලශක්ති ප්‍රභව භාවිත වූ අතර අද වන විට එය විවිධ ක්ෂ්‍රේත්‍ර  ඔස්සේ වැඩි දියුණු වී ඇත. ජීව ස්කන්ධ   ( දර ) යොදා ගනිමින් ආහාර පිසීමට මිනිසා එදා සිට අද දක්වාම පුරුදුව පවතී. බොහොමයක් දියුණු රටවල අද වන විට විදුලිය, ගෑස්,සූර්යය ශක්තිය වැනි  විකල්ප ප්‍රභව ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලැබුවද බොහොමයක් රට වල තවමත් ජීව ස්කන්ධ ( දර ) භාවිතා වේ.ජීව ස්කන්ධ දර, කෘෂි හා සත්ව අපද්‍රව්‍ය, ගොම වලින් සමන්විතය. මෙසේ ජීව ස්කන්ධ  යොදා ආහාර පිසීම සඳහා මෑතක් වන තුරුම ගල් තුනේ ලිප භාවිතා විය.ගල් තුනේ ලිප මගින් ජීව ස්කන්ධ  දහනයෙන් ලැබෙන තාපය වැඩි කොටසක් අපතේ යෑම සිදුවේ. මෙසේ පාරම්පරික ගල් තුනේ ලිප් හා ජීව ස්කන්ධ යොදා ගනිමින් ආහාර පිසීමේදී වැඩි වශයෙන් බලශක්තිය අපතේ යෑමක් සිදුවන අතර ජීව ස්කන්ධ  දහනය නිසා පරිසරයට කාබන්ඩයොක්සයිඩ් වායුව පිට වන අතර එය ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලියට දායක වන අතර දේශගුණික විපර්යාසයන්ටද හේතුවක් වේ. අධික ලෙස දුම් පිටවීම නිසා ශ්වසනාබාධ ඇති වීමද සුලභ කරුණක් විය. තවද මේ හේතුවෙන් සිදුවන වන විනාශය නිසා බොහෝ පාරිසරික ගැටලු උද්ගතවී ඇත.
 
මෙවැනි ගැටලු හා අභියෝගයන්ට පිලියමක් ලෙස බොහොමයක් රටවල් නොයෙකුත් වැඩි දියුණු කල දර උඳුන්, ජීව වායු, ජීව ස්කන්ධ බ්‍රිකට් භාවිතය, විකල්ප බලශක්ති භාවිතය හා ආහාර පිසීමේ රටා වෙනස් කිරීම තුලින් බලශක්ති කලමණාකරණයට යොමුවී ඇත.
 
දියුණු කල දර උඳුන්
 
ජීව ස්කන්ධ දර දහනයේදී පවා 90% ක පමණ කාර්යක්ෂමතාවයකින් තාපය ලෙස ශක්තිය පිටවීම සිදුවූවද ඉන් 10%-30%ක් අතර වන ඉතා සුලු ප්‍රමාණයක් ආහාර පිසීමේ ක්‍රියාවලියේදී උඳුන් වලට උරා ගනී. දහන කාර්යක්ෂමතාව පමණක් නොව උඳුනේ තාප හුවමාරු කාර්යක්ෂමතාව වැඩි කිරීම තුලින්ද ඉතා විශාල වශයෙන් ආහාර පිසීමේ කාර්යක්ෂමතාව වැඩි කල හැකිය. දහන කාර්යක්ෂමතාව වැඩි කිරීම තුලින් දුම් පිටවීම හා දහනයේදී පිටවන හානිදායක බැහැරකිරීම් අවම කල හැකිය. එසේම උඳුනේ තාප හුවමාරුව වැඩි කිරීම තුලින් ඉතා විශාල වශයෙන් දහනය සඳහා වැය වෙන ඉන්ධන/දැව අවශ්‍යතාව අඩු කලහැකිය. එමගින් බලශක්තිය ඉතිරි කරගැනීමට මනා රුකුලක් ලැබේ.මෙම අවශ්‍යතාවන් ඉටුවන පරිදි මනාව දියුණු කල දර උඳුන් බොහොමයක් රටවල භාවිතයේ පවතී.
 
උඳුන් වැඩි දියුණු කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන අංශ
 
උඳුනේ දහනය කාර්යක්ෂම කිරීමටත්, තාප හුවමරුව හොඳින්  සිදු කිරීමටත් යෝග්‍ය පරිදි උඳුන නිර්මාණය කිරීම වැදගත් වේ.
 
1. චිමිනියක් පැවතීම හෝ වා කුටීර පැවතීම.
මෙමගින් දාහකය තුල වායු හුවමාරුව හොඳින් සිදු වී දහනය පහසු කරවන අතර, දුම් හා අංශු ගෙයින් ඉවතට මුදා හැරීමට උපකාරී වේ.
 
2. උඳුනේ ඇතුලත බිත්ති සඳහා තාප පරිවාරක ද්‍රව්‍ය යොදා ගැනීම.
මෙමගින් උඳුන තුල තාපය රඳවා ගැනීම සිදුකරයි. පිටතට තාපය ගලායෑම අවම කිරීම මෙමගින් අපේක්ෂිතය.සෙරමික් වැනි තාප පරිවාරක ඇතුලත බිත්ති සඳහා යොදා ගනී.
 
3. උඳුන් සඳහා අමු ද්‍රව්‍ය
උඳුන් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයන් හොඳින් තාපයට ඔරොත්තු දිය යුතු අතරම අඩු වියදමකින් සාදා ගත හැකි වීම, දිගු කල් පැවැත්මක් පැවතීමද ඉතා වැදගත්ය. මැටි උඳුන්, හොඳින් පිලිස්සු ගඩොල් වලින් සෑදූ ලිප්,සාමාන්‍ය කොන්ක්‍රීට් උඳුන්,තාප පරිවාරක ගුණ ඇති සෙරමික් උඳුන්,සාමාන්‍ය ටයිල්තාපයට ඔරොත්තු දෙන ලෝහ බහුල වශයෙන් උඳුන් නිර්මාණයට යොදා ගනී.
 
4. උඳුන තුලට වාතය ගැලීම පාලනය
සීරු මාරු කල හැකි වා කවුලු සහිත කුටීරයක දැව/ඉන්ධන දහනය ඉතා වැදගත් වන අතර එමගින් දහන සීඝ්‍රතාව සඳහා වැයවන ඉන්ධන /දැව ප්‍රමාණය අඩු කර ගත හැකිය. එසේම වා කවුලු පැවතීම තුලින් උදුන තුල වායු සංසරණය හොඳින් සිදුවී දහනය පහසු කරන අතරම තවදුරටත් ඉතිරිව පවත්නා කාබන්මොනොක්සයිඩ් හා හයිඩ්‍රොකාබන් දහනය සිදුකරනු ලැබේ.
 
5. ආහාර පිසීමට භාවිතා කරන බඳුන හා ලිපේ/උඳුනේ දහනාගරය ප්‍රමානයෙන් එකිනෙක යෝග්‍යය විය යුතුය. බඳුන හා උඳුන අතර ඉතා පටු ඉඩ ප්‍රමානයක් පැවතීම තුලින් ආහාර පිසීමේ කාර්යක්ෂමතාව වැඩි කර ගත හැක.
 
6. බොහොමයක් අවස්ථාවල ආහාර කීපයක් පමණක් පිස ගැනීමට තනි දාහකයක් සහිත උඳුන් භාවිතා කරනු ලැබේ. එකවර ආහාර 2ක් හො ඊට වැඩි ගණනක් පිස ගැනීමට හැකිවන ආකරයෙන් උඳුන් සැකසීම තුලින් වැයවන ඉන්ධන ප්‍රමානය අවම කරගත හැකිය.
 
ශ්‍රි ලංකාවේ අනගි දර උඳුන්
1986 වසරේදී නාගරික දර උඳුන් ව්‍යාප්තිය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙම උඳුන හඳුන්වා දෙන ලදී. අනගි දර උඳුන් භාවිතයෙන් දර ප්‍රමාණය හා පිසීමට ගතවන කාලය අඩු වන නිසා එය ජනප්‍රිය උඳුනක් බවට අද පත්ව ඇත.
 
ලංකාවේ බහුලව භාවිත වන සම්ප්‍රදායක ගල් තුනේ ලිප 8%-10% අතර අඩු කාර්ය්‍යක්ෂමතවයකින් යුතු අතර දුම්පිටවීම හා වැඩි බලශක්ති ප්‍රමාණයක් අපතේ යෑම එහි ඇති අවාසිය වේ.
විද්‍යගාර පරීක්ෂණ වලට අනූව අනගි දර උඳුනේ කාර්ය්‍යක්ෂමතාව 21%-25% අතර වේ. ප්‍රායෝගිකව එහිදී දර ඉතිරිය 30%ක් පමණ වේ.සාමාන්‍ය ගල් තුනේ ලිපකට භාවිත කරන ජීව ස්කන්ධ මේ සඳහාද භාවිත කල හැක.
 අනගි දර උඳුන ප්‍රධාන වශයෙන් කොටස් තුනකි.
 
  • දහනාගාරය
  • දෙවනි භාජනය සඳහා සිදුර,
  • සම්බන්ධක නලය( දහනාගාරය හා දෙවෙනි භාජනසිදුර )
 ඊට අමතරව තවත් අනු කොටස් කීපයකින්ද සමන්විත්ය. භාජන රඳවනය, ගිනි දැල් ආවරණය, බට්‍රස්, දොර, තාප බාධකය. මෙම උඳුන දීර්ඝ කාලයක් භාවිතා කිරීම සඳහා එය මඩ මිශ්‍රණයකින් ආවරනය කර භාවිත කිරීම කල යුතුය.එසේ සකසා ගත් උඳුනක ආයු කාලය වසර 3කට වඩා වැඩි වන අතර ආවරණය නොකලේ නම් වසරකට වඩා වැඩි කාලයක් භාවිත කල හැකිය.
 
ලංකා ශක්ති දර වායු උඳුන
 
සාමාන්‍ය දර ලිපක් භාවිතයේදී මුහුණ පෑමට සිදුවන ප්‍රධාන අපහසුතාවක් වන දැලි බැඳීම් හා දුම් පිටවීමටත් පිලියමක් ලෙස ඉහල කාර්යක්ෂමතාවයකින් යුතු මෙම ලංකා ශක්ති දර වායු උඳුන හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් හඳුන්වා දුන් මෙහි කාර්යක්ෂමතාව ලංකා අනගි උඳුනට වඩා වැඩිය. දර මඟින් ඉහල කාර්යක්ෂමතාවක් ලබාගත හැකි පරිදි සකසා ඇති මෙම උඳුන විද්‍යගාර පර්යේෂණ වලට අනූව 30%-33%ක් පමණ කාර්යක්ෂමතාවකින් යුක්තය. සාමාන්‍ය ලිපකදී භාවිත වන දර ප්‍රමාණයෙන් 30%-40%ක ප්‍රමාණයක් මෙමඟින් ඉතිරි කර ගත හැකිය. උඳුනේ ක්‍රියාකාරීත්වය සලකන විට සාමාන්‍යයෙන් වරකට දර ග්‍රෑම් 600ක් පමණ ප්‍රමාණයක් සෑහේ. ඉතා කුඩා ප්‍රමාණයේ කැබලි දර , පොල්කටු, දහයියා හෝ ලී කුඩු වලින් සැකසූ කැටිති ඉන්ධන සඳහා යොදා ගත හැකිය. මෙමඟින් පැයක පමණ කාලයක් ඉවුම් පිහුම් කටයුතු පහසුවෙන් කරගත හැක.
 
ඉතා ඉහල කාර්යක්ෂමතාවක් සහිත මෙම ලංකා ශක්ති දර වායු උඳුන ඉතා ආරක්ෂාකාරී වේ.පිටත පෘෂ්ඨයේ උෂ්ණත්වය ස්පර්ශ කිරීමට හැකි පමණ අඩු අගයක පවතී.දහනය වෙමින් පවතින ලිප පවාද එහා මෙහා ගෙන යාමේ හැකියවක් පවතී.ගෑස් උඳුන් කට්ටලයකට සාපේක්ෂව  මූලික වියදම හා ක්‍රියා කරවුම් වියදම ඉතා අඩුය.කුඩා ප්‍රමාණයේ ජීව ස්කන්ධ යොදා ගැනීමට හැකි බැවින් දර අවශ්‍යතාව සඳහා එලි කරන වනන්තරද ආරක්ෂා වේ.පරිසරයට පිටවන තාපයද අඩු බැවින් පරිසර හිතකාමි උදුනක් ලෙස හඳුන්වනු ලැබේ.
 
ඉන්දියවේ වැඩි දියුණු කල උඳුන්
 
උදෙයිරාජ් උඳුන
 
භාජන දෙකක් එක වර භාවිත කල හැකි, චිමිනියක් සහිත උඳුනකි. සාමාන්‍ය දර ලිපකදී සිදුවන බලශක්ති හානිය හා දුම් පිටවීම නිසා උද්ගත වන ගැටලු අවම වන පරිදි මෙය වැඩි දියුණු කර ඇත.වැඩි දියුණු  කල උදෙයිරාජ් උඳුනේ කාර්යක්ෂමතාව 22% පමණ වේ. මේ සඳහ ඉන්ධන ලෙස දර, ගොම, වියලි කෘෂි බෝග අපද්‍රව්‍ය භාවිතා කල හැක. උදෙයිරාජ් උඳුන සැකසීමට සිමෙන්ති බදාමයක් හා ගඩොල් යොදා ගන්නා අතර උණුසුම අඩු කිරීමට මැටි වලින් ආවරණය කර ඇත. උදෙයිරාජ් උඳුන සඳහා ප්‍රධාන මිනුම් හඳුන්වාදී ඇත.
 
බඳ කොටස (Body)- 85*40*25cm
දහනාගාරය (fire box)-
පලමු උඳුනට විෂ්කම්භය - 24cm
දෙවන උඳුනට විෂ්කම්භය - 20cm
දහනාගාරයේ දොර ( fire box opening) – 24*16cm
උමග ( සම්බන්ධක නල කොටස ) – 6.35 cm
පලමු උඳුනේ සිට දෙවනි උඳුනට දුර - 10 cm
දෙවනි උඳුනේ සිට චිමිනියට දුර - 8 cm
සාමාන්‍ය දර උඳුනකට සාපේක්ෂව පරිසර හිතකාමී , සෞඛ්‍ය ආරක්ෂිත උඳුනක් සේ සැලකේ.
 
ලක්ෂ්මී උඳුන
 
 මෙම උඳුනද චිමිනියක් සහිත භාජන දෙකක් එකවර ආහාර පිසීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇත.මෙහි දහනය වන ඉන්ධන වලින් 60% පලමු බඳුනටද, ඉතිරිය දෙවැන්නටද ලැබෙන පරිදි නිර්මාණය ර ඇත. මෙහි ඇති චිමිනිය මගින් දුම් මුලුතැන්ගෙයින් පිටතට ඇද ගනී.
 
බ්‍රිකට් යොදා ගත් උඳුන්
 
අඟුරු කුඩු කර පීඩනයකට ලක් කිරීමෙන් සාදා ගන්න ජීව ස්කන්ධ කැටිත්ත බ්‍රිකට් ලෙස හඳුන්වයි.විශේෂිතව සාදා ගත් උඳුනක මෙම කැටිත්ත දහනය කල යුතුය. මෙම උඳුන් යකඩ වලින් හෝ මැටි වලින් සෑදිය හැක. එම උඳුනකින් ග්‍රෑම් 500 ක පමණ වන කැටිත්තක් වරකට දහනය කලහැක. මෙම කැටිත්තක් ( බ්‍රිකටයක්) පැය 1ක-2ක කාලයක් දහනය වන අතර මෙමගින් 4-5 දෙනෙකුට ප්‍රමාණවත් කෑම වේලක් පිලියෙළ කරගත හැක.
 
ගෑස් උඳුන් භාවිතය
 
දර වලට සාපේක්ෂව තාප ජනක අගය ඉහලවීමත් , භාවිතයේ පහසුවත්, නාගරිකව පහසුවෙන් ලබා ගත හැකි වීම නිසා, ගෑස් උඳුන් භාවිතය ප්‍රචලිත වී  ඇත.
ගෑස් උඳුනක් භාවිතයේදී උඳුනේ කාර්යක්ෂමතාව ඉහල නංවා ගැනීමට අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කීපයකි.
 
  • නිල් දැල්ල ලැබෙන පරිදි උඳුනේ වා කවුලුව සකසා ගැනීම.
  • දාහකයේ ප්‍රමාණයට සරිලන බඳුන් භාවිතය.
  • පතුල පැතලි ලොහ බඳුන් භාවිතය.
  • වා සිදුරු වල අවහිරතා ඉවත් කිරීම.
  • ආහාර පිසින භාජනය හා දැල්ල අතර පරතරය අවම මට්ටමක පැවතීම.
  • අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය භාවිතා කිරීම.
බල ශක්තිය ඉතිරි කරගැනීම සඳහා අනුගමනය කල හැකි වෙනත් ක්‍රමෝපායන්:
 
වැඩි දියුණු කල දර උඳුන් , ජීව වායු හා සූර්යය තාප උඳුන් වලට අමතරව ආහාර පිසීමේදී, ආහාර පිසීමේ රටාවේ ඇති කල හැකි වෙනස්කම් හරහාද බලශක්තිය ඉතිරි කර ගැනීම කල හැක.
  • ධාන්‍ය වර්ග තැම්බීමට පෙර පෙගෙන්නට දැමීමේදී ආප්ප සෝඩා හෝ බෙකින් පවුඩර් ස්වල්පයක්  එකතු කිරීම මගින් ධාන්‍ය තැම්බීමට ගතවන කාලය අඩු කර ගැනීම තුලින්ද බලශක්තිය ඉතිරි කරගත හැක.
  • අල වර්ග ආදිය මිලදී ගැනීමේදී කුඩා අල තෝරා ගැනීම මගින්  තැම්බීමට යන කාලය ඉන්ධන ප්‍රමාණය අවම කර ගත හැක.
  • ආහාර සැකසීමේදී කුඩා කැබලි වලට කපා ගැනීම.
  • ආහාර පිසීමේදී බඳුන පියනකින් වසා තැබීමෙන් ජලය වාෂ්ප වීම අවම වන අතර වාෂ්ප පීඩනය වැඩි වී ආහාර පිසීම ඉක්මන් වේ.
  • ධාන්‍ය වර්ග , බිත්තර ආදිය තැම්බීමේදී මෙන්ම තේ සැකසීමේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය භාවිතා කිරීම.
  • ආහාර පිසීමේදි සෑම විටම නිල් පාට දැල්ල භාවිතා කිරීම.
  • විදුලිය භාවිතා කර ආහාර පිසිමේදී සෑම විටම මුහුර්තකය ( Timer) භාවිතා කිරීම මගින් අනවශ්‍ය විදුලි පරිබෝජනය වලකා ගත හැකිය.
  • ආහාර පිසීමට වැය වන කාලයට මදක් කලින් විද්‍යුත් උඳුන ක්‍රියා විරහිත කිරීම.සාමාන්‍යයෙන් උඳුන ක්‍රියා විරහිත කලද තාප ශක්තිය මඳ වෙලාවක් යනතුරු රඳා පවතින බැවින් එය බොහොඉ විට ආහාර පිසීමී කාර්යයට ප්‍රමාණවත් තරමක පවතී. උඳුන මොහොතකට පෙර ක්‍රියා විරහිත කිරීම තුලින් වැඩිපුර  විද්‍යුත් ශක්තිය වැයවීම අඩු කරගත හැකිය.

Comments

Popular posts from this blog

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය