විකල්ප බලශක්ති ප්‍රභව

ලංකාවේ ප්‍රධානතම විදුලිබල ප්‍රභවය වන ජල විදුලි බලයට අමතරව අනෙක් පිළිගත් සහ ප්‍රධානම ප්‍රභවය වන්නේ ඩීසල් විදුලිබලාගාර වලින් නිපදවන විදුලියයි. රජය පෞද්ගලික බලාගාර වලින් පාඩු පිට මිලදී ගන්නා මෙම විදුලි ඒකක අළෙවි වන්නේ පාරිභෝගිකයාටද දැරිය නොහැකි මිලකටයි . මේ නිසාම රජය වඩා මිල අඩු ගල් අඟුරු තාප බලාගාර ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. දැන් දැන් හරිත බලශක්ති  (Green Energy Sources ) ප්‍රභව වන සූර්ය ශක්තිය සහ සුලං බලය කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතත්, ඒවායේ අකාර්යක්‍ෂම බව සහ ඒකාකාරී නොවන සැපයුම නිසා ඒවා කෙරෙහි සම්පූර්ණ බලාපොරොත්තු තබා ගත නොහැක. එසේම තවමත් මූලික වියදම අධික ශක්ති ප්‍රභව දෙකක් නිසා මේ කෙරෙහි ඇති අවධානය අඩු බවක් දක්නට ලැබේ. එසේම ඩීසල් සහ ගල් අඟුරු විදුලි බලාගාර වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ්  නිසා මේ ක්‍රම දෙකම අනාගත ලෝකයේ පැවැත්ම කෙරෙහි දැඩි තර්ජනයක් එල්ල කරන ක්‍රම දෙකක් බවට පත් වී ඇත. දැනටමත් ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 390 ppm (කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 390 ක්) වනවා. ෆොසිල ඉන්ධන පාවිච්චිය මේ අයුරින්ම සිදු වුව හොත් 2050 වන විට මේ අගය 550 – 750  ppm වීමට හැකි බව ගණන් බලා තිබෙනවා. මෙය ඉතා බැරෑරුම් වැඩි වීමක්. මේ නිසා බොහෝ රටවල් දැන් දැන් න්‍යෂ්ඨික බලශක්තිය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. යුරෝපය මේ සම්බන්ධයෙන් ඉතාම ඉදිරියෙන් සිටියත් අමෙරිකා එක්සත් ජනපදය පසු වන්නේ බොහෝ පිටුපසින්. ඒ නිසාම අමෙරිකාව වසර 2030 වන විට නව න්‍යෂ්ඨික බලාගාර 30ක් සිය පද්ධතියට එකතු කරන්න සැරසෙනවා. මෙමඟින් පාරිභෝගිකයාට අඩු මිලට විදුලිය සැපයීමටත්, හරිතාගාර වායු පිටකිරීම අවම කිරීමටත් අමෙරිකානු රජය සලසුම් කර තිබෙනවා.


ලෝකයේ න්‍යෂ්ඨික බලශක්ති පාවිච්චිය
ඉතින් අපට න්‍යෂ්ඨික බලාගාරයක් අවශ්‍යමද ? එයින් ඇති වන හිතකර / අහිතකර ප්‍රතිඵල මොනවා දැයි මට හිතෙන හැටියට ලියා මේ ලිපිය කියවන සීයක් පමණ දෙනා දැනුවත් කරන්නයි බලාපොරොත්තුව. මුලින් ම කියන්න ඕනෑ මේ ලිපිය බොහෝ දිග නීරස එකක් වන බව.. කැමති අය බලත්වා…… න්‍යෂ්ඨික බලශක්තිය ගැන සරළව ලියන එක වචන 100 කින් ලියලා ඉවර කරන්න පුළුවන් එකක් නොවෙයිනේ….

න්‍යෂ්ඨික විදුලි බලය.

න්‍යෂ්ඨික විදුලි බලය යනු විකිරණශීලී පරමාණුවල න්‍යෂ්ඨීන් පාලනය කරන ලද විඛණ්ඩනයකට (Controlled nuclear fission) භාජනය කර ලබා ගන්නා තාප ශක්තිය මගින් ජලය රත් කර ලබා ගන්නා ජලවාෂ්පය භාවිතයෙන් මෙහෙයවනු ලබන ටර්බයින මගින් ජනනය කරන විදුලි බලයයි.දැනට ලෝකයේ විදුලිබල සැපයුමෙන් 13 – 14 % සපයනු ලබන්නේත් ලෝකයේ නාවික යාත්‍රා 150 කට අධික සංඛ්‍යාවකට බලය සපයන්නේත් න්‍යෂ්ඨික බලශක්තිය මඟිනි. න්‍යෂ්ඨික බලය හරිහැටි ක්‍රමාණුකූලව  සහ ආරක්‍ෂාකාරීව පාවිච්චිකර විදුලි බලය ලබාගතහොත් දැනට ලොව ඇති ලාභම විදුලි ජනන ක්‍රමයයි.

න්‍යෂ්ඨික බලය ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ න්‍යෂ්ඨික විඛණ්ඩණයයි. මෙහිදී  ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ යුරේනියම් නම් විකිරණශීලී මූලද්‍රව්‍යයයි. ස්වභාවයේ පවත්නා යුරේනියම් සමස්ථානික තුනෙන් (238-U -99.28%; 235-U – 0.71 %; සහ 234-U – 0.0053%) න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා සඳහා යොදා ගන්නේ 235U න්‍යෂ්ඨියයි. එහිදී  සිදු වන්නේ විකිරණශීලී පරමාණුවක් වන යුරේනියම් 235 පරමාණුවේ න්‍යෂ්ඨියට සෙමින් චලනය වන නියුට්‍රෝණයක් උරාගැනීමට සලස්වා එය අස්ථායී කිරීමයි. එවිට එම අස්ථායී න්‍යෂ්ඨිය ස්වයං විඛණ්ඩණයකට භාජනය වී ක්‍රිප්ටෝන් සහ බේරියම් පරමාණු දෙකක් (89Kr & 144Ba) ජනනය වන අතර නියුට්‍රෝණ තුනක් සහ ගැමා කිරණ පිටකරයි . මෙම නියුට්‍රෝණ ආලෝකයේ ප්‍රවේගය මෙන් 7% ක වේගයකින් ගමන්කරයි.  මෙම නියුට්‍රෝණ මඟින් එම යුරේනියම් සාම්පලයේ ඇති අනෙක් 235U න්‍යෂ්ඨිවලට පහර දී නැවත නැවතත් ක්‍රිප්ටෝන් සහ බේරියම් පරමාණු දෙකක් සහ නියුට්‍රෝණ තුනක්  බැගින් පිටකරයි.

න්‍යෂ්ඨික විඛණ්ඩනය
මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වන විට එය න්‍යෂ්ඨික දාම ප්‍රතික්‍රියාවක් හෙවත් Nuclear Chain Reaction යනුවෙන් හඳුන්වයි. න්‍යෂ්ඨික බෝම්බයක් පිපිරීමේදී සිදු වන ක්‍රියාවලිය වන්නේ මෙයයි. එහෙත් න්‍යෂ්ඨික ප්‍රතිකාරකයක් තුළ දී මෙම ක්‍රියාවලිය දැඩිව පාලනය කර, එක් වරකට පිටවන නියුට්‍රෝණ තුනෙන් දෙකක් බෝරෝන් පරමාණුවලට උරාගැනීමට සලස්වා න්‍යෂ්ඨික දාම ප්‍රතික්‍රියාව වලකා ලනු ලබයි. මෙසේ පිටවන නියුක්ලියෝන වලට අමතරව මෙම න්‍යෂ්ඨික විඛණ්ඩනය නිසා අධික තාපයක් පිට වනු ලබයි. මෙම තාපය විශාල ජල ටැංකියක ඇති ජලය රත් කිරීමට සලස්වා එයින් ඇතිවන හුමාලය විශාල ටර්බයිනයක් කැරකීමට යොදාගනු ලැබේ. එම ටර්බයිනටයෙන් ජනනය කරන විදුලි බලය බෙදාහරීමේ මධ්‍යස්ථාන හරහා පාරිභොගිකයාට ලැබීමට සලස්වයි. ටර්බයිනය කැරකීමෙන් පසුව ඉතිරිවන හුමාලය නැවත ඝණීභවනය කර පෙර කී ජලටැංකියට යවා නැවත භාවිතයට ගන්නා අතර සිසිලනයට යොදාගන්නා ජලයෙන්ද ටර්බයින කැරකැවීමට සලස්වා තාපහානිය අවම කර, උපරිම බලශක්තියක් ජනනය කිරීම සිදු කරගනු ලබයි.

න්‍යෂ්ඨික විදුලිබලයේ වාසි සහ අවාසි

ප්‍රධානතම වාසිය වන්නේ න්‍යෂ්ඨික බලය ෆොසිල ඉන්ධන මත යැපෙන බලශක්තියක් නොවීමයි. ගල් අඟුරු සහ ඩීසල් බලාගාර තනිකරම ෆොසිල ඉන්ධන මත යැපෙන අතර විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදාහරී.  එසේම න්‍යෂ්ඨික බලාගාරයකින් පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉතාම අවම වේ. න්‍යෂ්ඨික බලශක්ති ආයතනය පවසන පරිදි ලොව පුරාම ක්‍රියාත්මක වන න්‍යෂ්ඨික විදුලිබලාගාර නිසා වසරකට මෙට්‍රික් ටොන් බිලියන 2 ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වැලකෙනවා. එසේම මනාව පාලනය කරන න්‍යෂ්ඨික විදුලි බලාගාරයකින් පිටවන විකිරණ ප්‍රමාණය ගල් අඟුරු බලාගාරයකින් පිටවනවිකිරණ ප්‍රමාණයට වඩා ඉතා අඩු අගයක් ගන්නවා. 

න්‍යෂ්ඨික විදුලිබල ජනනයේ අවසාන ජවනිකාව පරිසර“හිතකාමී“ වුනාට, ඒ හා සම්බන්ධ බොහෝ දේ සළකා බැලිය යුතු වෙනවා….. යුරේනියම් හෝ තෝරියම් හෝ ප්ලුටෝනියම් න්‍යෂ්ඨික ඉන්ධන පොළවෙන් ඉවත් කිරීමේදී  සෑහෙන විකිරණ ප්‍රමාණයක් පිටවෙනවා. ඒවා ප්‍රවාහණය ඉතා පරිස්සමින්, විකිරණ පිට නොවන ආකාරයට කළ යුතුයි. ගබඩා කිරීම පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ. විදුලි බලාගාරයේ පාවිච්චියට පෙර ඒ න්‍යෂ්ඨික ඉන්ධන දැඩි විකිරණශීලයි. එසේම වැරදී හෝ න්‍යෂ්ඨික බලාගාරයෙන් කාන්දුවීමක් සිදු වුවහොත් ලංකාවේ මිලියන 22 ක අවසානය උදාවෙනවා… විකිරණශීල අපද්‍රව්‍ය ක්‍රමාණුකූලව ඉවත් කළ යුතුයි. ඒවා දැඩි තත්ත්‍ව යටතේ ගබඩාකර තැබීම කළ යුතුයි.

න්‍යෂ්ඨික බලාගාරයේ කාර්යයන් සඳහා දැඩි කැපවීමකින් යුතු විනයගරුක සේවක පිරිසක් පුහුණුකළ යුතුයි. ආණ්ඩුව මාරු වන විට මාරු වන දේශපාලන හෙංචයියොත් එක්ක න්‍යෂ්ඨික බලාගාරයක් ගෙන යාමට බැහැ. මීලඟ ප්‍රශ්නය තමයි න්‍යෂ්ඨික ඉන්ධන සැපයුම. දැනට න්‍යෂ්ඨික ඉන්ධන වන විකිරණශීලී මූලද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ එටවල් අතලොස්සක් පමණයි. මේ අතරින් රුසියාව සහ ඉරාණය ඉදිරියෙන් සිටිනවා. දැනට ඇති ආරංචි අනුව රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමේ සූදානමක් ඇති අතර තෝරියම් කැණීම මඟින් අපටම අපේ න්‍යෂ්ඨික ඉන්ධන සපයා ගැනීමට හැකියාව පවතිනවා. මේ පිළිබඳ පසුව කතා කරමු. කෙසේ වුවත් මේ විකිරණශීලී මූලද්‍රව්‍ය මිල අධිකයි. එනමුත් විදුලිබල ජනනය අතින් බොහෝ ලාභදායකයි.

න්‍යෂ්ඨික අපද්‍රව්‍ය. (Nuclear Waste)

මේ න්‍යෂ්ඨික බලශක්තියේ හොඳ පැත්තයි. මෙසේ න්‍යෂ්ඨික බලය ජනනය කිරීමට යොදාගන්නා යුරේනියම් සාම්පලයේ (Uranium Rod) සැබෑවටම ප්‍රතික්‍රියාවේ යෙදෙන්නේ 5% ක පමණ ප්‍රමාණයකි ඉන් පසු අදාල යුරේනියම් සාම්පලයේ ඇති සියළුම දේ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය (Nuclear Waste)  ලෙස හැඳින්වේ.  එහි වැඩි වශයෙන්ම ඇත්තේ ප්ලුටෝනියම් Pu සහ කියුරියම් Cm වන අතර එසේම 3% පමණ ප්‍රමාණයක් විඛණ්ඩන ඵල (Fission Products) වන ක්‍රිප්ටෝන් බේරියම් ආදී ද්‍රව්‍ය ඇතුලත් වේ. එකසේ වුවද, මේ සියල්ලම කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව විකිරණ පිටකරනු ලබයි. 1GW (1000 MW) ප්‍රතිකාරකයක් සාමාන්‍යයෙන් වසරක් තුළ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ටොන් 27ක් පමණ පරිසරයට එකතු කරනු ලබයි. එහෙත් මෙම අපද්‍රව්‍ය නැවත සකස් කළහොත් සැබෑම වශයෙන් අපද්‍රව්‍ය ලෙස ඉවත දැමිය හැක්කේ ටොන් 2 ක් වැනි සුළු ප්‍රමාණයකි. උදාහරණයක් ලෙස ගතහොත් මෙතුවක් කල් අමෙරිකා එක්සත් ජනපදයේ එක්රැස් වූ න්‍යෂ්ඨික අපද්‍රව්‍ය සියළුම ප්‍රමාණය  වන ටොන් 50,000 ක්ට අධික ප්‍රමාණය නැවත සකස් කළ විට ඉතිරි වන්නේ ඝන මීටර 1500 ක පමණ සුළු ප්‍රමාණයකි. එසේ වුවද ඇමරිකා එක්සත් ජනපදයට පවා ඇති ප්‍රශ්නයක් වන්නේ මෙම අපද්‍රව්‍ය නැවත සකස් කිරීම සහ අපද්‍රව්‍ය තැන්පත් කිරීමයි. දැනට නෙවාඩා ප්‍රාන්තයෙහි යුකා කඳුයාය, න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලෙස සකස් කර ඇති වුව ද, මේ ගැන බොහෝ වාද විවාද ඇති අතර එය විශාල දේශපාලන ප්‍රශ්නයක් බවටද පත්ව ඇත.

න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ඉතා විකිරණශීලී වන අතර හැසිරවීම ඉතාම පරිස්සමින් ක්‍රමාණුකූලව සිදු කළ යුතුය. සුළු හෝ අත්වැරදීමක් බොහෝ දෙනෙකුට දීර්ඝකාලීන අහිතකර පලවිපාක ලබාදිය හැකි සිදුවීමකි. සාමාන්‍යයෙන් ප්‍රතිකාරකයකින් ඉවත් කළ අවුරුදු 10,000 ක් යනතුරු න්‍යෂ්ඨික අපද්‍රව්‍යවල විකිරණ පිටවන බව ගණන් බලා ඇත. ඉවත් කර වසර 40 කදී විකිරණශීලීතාවය 99.9% ක්ම ඉවත් වුවත්, වසර දහස් ගණනක් යනතුරු ඉතිරිය පවතින බව කියැවේ. න්‍යෂ්ඨික ප්‍රතිකාරකයකින් ඉවත් කළ වහාම මේ භාවිතාකළ ඉන්ධන දඬු (fuel rods) වසර 5 ක් පමණ කාලයක් ආවරණය කළ ජල තටාකවල බහාතැබීම සිදු කරනු ලබයි. මෙසේ කල් ගතවන්නේ එම දඬු සිසිලනය වීමට සහ ඒ වනවිටත් පිටකරන විකිරණ නිරාවරණය වලක්වාලීම සඳහායි. මෙසේ කල්ගත වූ පසු, එම දඬු වියලි අපද්‍රව්‍ය තැන්පත් කරන ලෝහ සහ කොන්ක්‍රීට් වලින් තැනූ බහාලුම්වල තැන්පත් කෙරේ. බොහොමයක් න්‍යෂ්ඨික ප්‍රතිකාරක වල අපද්‍රව්‍ය ඒ ස්ථානවලම තැන්පත් කර ඇති අතර අමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටක් පවා න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ බැරෑරුම් ප්‍රශ්නයට මැදිව සිටින රටක් බව නැවතත් කිව යුතු වෙනවා.

එසේ වුවත් මෙම න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ප්‍රමාණය සාම්ප්‍රදායික ගල් අඟුරු බලාගාරයකින් නිකුත් කරන අපද්‍රව්‍ය ප්‍රමාණයට වඩා බොහෝ අඩුයි. කාර්මීකරණය වූ රටවල කර්මාන්තශාලා වලින් නිකුත් කරන විෂ සහිත රසායනික අපද්‍රව්‍ය පුමාණය මීට වඩා වැඩි වුවත් න්‍යෂ්ඨික අපද්‍රව්‍ය වල තිබෙන බැරෑරුම්කම නිසාම සහ නිහඬව සිදු කරන දීර්ඝකාලීන හානිය නිසා න්‍යෂ්ඨික අපද්‍රව්‍ය අන්තරාදායක බව අතින් ඉදිරියෙන් සිටිනවා.

- ආචාර්ය රසිකා කළුපහණ මහත්මිය

Comments

  1. ගොඩාක් වෙලාවට ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පත් සීමිත බව දැන ගෙන තිබුණත් බලශක්තිය අවසන් වූ පසුව කළ යුතු දේ පිළිබඳව නිවැරදි වැටහීමක් ලබා ගැනීමට සිදු කළ යුතු පර්යේෂණ මොනවත්ම ශ්‍රී ලංකාව තුළ දැනට කෙරෙන්නේ නැතිකම බලවත් අඩුපාඩුවක්.

    නමුත් ලෝකයේ දියුණු සංවර්ධිත රටවල මේ සම්බන්ධව දැවැත්ත පර්යේෂණ මේ මොහොත වන විටත් සිදු වෙමින් පවතිනවා. ගුරුවරියක් ආචාර්යවරියක් පර්යේ්ෂිකාවක් විදිහට ඇය මේ පිළිබදව දක්වා ඇති අවධානය හරිම වැදගත්. ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පතට අදාළව විකල්ප බලශක්ති මූලාශ්‍ර පිළිබදව පර්යේෂණ සිදු කළ යුතු මට්ටමකට දැන් අප පත්ව සිටිනවා.

    මැය විසින් ලියන ලද මේ අගනා ලිපිවලදී ඇය සතු පර්යේෂණාත්මක දැනුම බොහෝ විට අපට ලබා ගත හැකියි ශ්‍රී ලංකාවේ විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳව සොයා යැම් සිදු කිරීම සඳහා. මම කැමතියි මේ වගේ සම්පත් පුද්ගලයන් දායක් කර ගැනීඹට හැකියාවක් අපට තියෙනවා නම්.

    ඒ වගේම මම බොහෝම කාරුණිකව ඇයගෙන් ඉල්ලා සිටින්න කැමති ඇය කැමති නම් විදේශ රටකදී වුවත් මේ සඳහා ඇයට අවශ්‍ය පර්යේෂණ සිදු කිරීමට ලබාදීමට. ඒ සඳහා මූල්‍ය දායකත්වය අපට දැරිය හැකියි.

    ReplyDelete
  2. දැනට ලෝකයේ බහුලව භාවිතා නොවන නමුත් විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කළ හැකි නව බලශක්ති ප්‍රභව පිළිබදව රසිකා කළුපහනගේ මහත්මිය දක්වා ඇති අදහස් නූතන ලොවට ඉතා වැදගත් කාලෝචිත අදහස් සමූහයක් බව දැක්විය හැකියි.

    දැනට ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලය පිළිබඳව ප්‍රමාණවත් පර්යේෂණ සිදු නොවන තරම්ය. එබැවින් මෙබදු පර්යේෂණාත්මක ලිපිවල අගය තව තවත් දැඩිව දැනේ. අප විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස න්‍යෂ්ටික බලය සාර්ථකව භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව හා අවම පසුහානි සහිතව ආරක්ෂිතව එය අපේ රටේ ක්‍රියාත්මක කළ හැකි පුළුල් වැඩසටහනක නියැලි සිටින අය වෙමු.

    මෙබඳු අය අපගේ වැඩසටහන් සඳහා සහභාගී කර ගැනීමට කැමැත්තෙන් පසුවන අතර ඔබ ගේ කැමැත්ත ද එය වේ නම් අප හා එක්ව කටයුතු කිරීමට ඔබට හැකියාව ඇති බව සතුටින් යුතුව දැනුම් දීමට කැමැත්තෙමු.

    ස්තූතියි

    ReplyDelete

Post a Comment

මේ ලිපි කියවා ඔබගේ විචාර පූර්වක අදහස් විනීත බසකින් මෙහි සටහන් කිරීමට සහෘද ඔබ සැමට ලෙන්ගතු හදවතින් කාරුණිකව ඇරයුම් කරමු.

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය