විදුලිබල අර්බුදයට විකල්ප බලශක්තියෙන් විසඳුම්

දිනෙන් දින දියුණුවන ලෝකයේ බලශක්තිය යනු අනිවාර්යය සාධකයකි. ශ්‍රී ලංකාවටද අද බලශක්තිය නොමැතිව කිසිදු කාර්යයක් ඉටු කර ගත නොහැකිය. ලොව පුරා මෙම අත්‍යවශ්‍ය සාධකය වන බලශක්තිය නිපදවීම උදෙසා විවිධ වූ ක්‍රියාමාර්ග උපයෝගි කර ගනිති. ඒ අනුව වර්තමාන ලෝකයෙහි බහුල ලෙසම යොදා ගනු ලබන්නේ න්‍යෂ්ටික බලයයි. මීට අමතරව ජලය, සුළඟ, සූර්යාලෝකය, ඉන්ධන හා ගල් අඟුරු ද බලශක්ති උත්පාදනය උදෙසා යොදා ගනු ලබන ප්‍රභවයන් වේ. මෙම ක්‍රමයන්ගෙන් ඇතැම් ප්‍රභව ඉතා ඉහළ පරිසර දූෂණයක් සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකාවද සිය බලශක්ති අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම උදෙසා විවිධ වූ ක්‍රියාමාර්ග යොදා ගනිමින් සිටියි. ඒ වුවද අප අදටද බලශක්ති උත්පාදනයේදී ප්‍රධාන ලෙසම රැඳී සිටිනුයේ ජල විදුලිය හා ඉන්ධන මතය. රටට විශාල නියඟයක් පැමිණ විට ජලවිදුලි උත්පාදනය මුහුණ දෙනුයේ විශාල අර්බුදයකටය. ජලාශවල ජල මට්ටම පහළ යාම සමග ජල විදුලිය නිපදවීමේ අර්බුදයක් මතුවේ. මේ නිසා ඇතැම් ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය තාවකාලිකව අත්හිටුවීමට ද සිදුවේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රභවය වන ඉන්ධන බලාගාර අර්බුදයකට මුහුණ දෙනුයේ ලෝක වෙළෙඳ‍පොලෙහි ඉන්ධන මිල ඉහළ යාමය. මෙලෙස ඉන්ධන මිල ඉහළ යාම සමග මෙරට ඉන්ධන මගින් විදුලිය නිපදවීමට ද දැරීමට සිදුවන පිරිවැය ප්‍රමාණය ඉහළ යනු ලබයි. අවසානයේ එම පිරිවැය බර දැරීමට සිදුවනුයේ විදුලි පාරිභෝගිකයාටය. මීට විකල්පයක් සෙවීමේ යම් අරමුණින් ඉදි කරන ලද ගල් අඟුරු බලාගාරයද වසරේ වැඩිපුර කාලයක් අක්‍රියව පැවතීම හමුවේ අද වනවිට එම විකල්පය අප හමුවේ විශාල අමතර ප්‍රශ්නාර්ථයක් නිර්මාණය කර හමාරය.
දිනෙන් දින ඉහළ යන මෙම බලශක්ති ඉල්ලුමට විවිධ වූ විකල්ප ලබා දීම කෙරෙහි අද මුළු ලෝකයේම අවධානය යොමුව තිබේ. මේ නිසා ඒ උදෙසා විවිධකාර වූ පර්යේෂණ යොදා ගනිමින් විකල්ප සෙවීමට මෙන්ම ඒවා අත්හදා බැලීමටද ලොව රටවල් ක්‍රියා කරමින් සිටියි. ශ්‍රී ලංකාවද මෙම මාර්ගයට අවතීර්ණ වෙමින් අද පුනර්ජනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙසට පරිසර අමාත්‍යාංශයට මේ වන විට පුනර්ජනනීය බලශක්ති අධිකාරිය පත්කර තිබේ. පාරිභෝජනය කිරීම නිසා ක්ෂය නොවන සේ පාරිභෝජන වේගය වැඩි ශක්තීන් මෙලෙස පුනර්ජනනීය බලශක්තිය ලෙසට හඳුන්වා දිය හැකිය. මෙලෙස පුනර්ජනනීය බලශක්තිය නිපදවීම මගින් විදුලිය පමණක් නොව ‍පොසිල  ඉන්ධනවලට විකල්පයක් ලෙසද එය යොදා ගැනීම අවස්ථාව තිබේ. අප රට කෘෂිකාර්මික රටකි. මේ නිසා අපට ෙජෙව ඉන්ධන පිළිබඳව අවධානය යොමු කිරීම මෙන්ම එය පාරිභෝජනය උදෙස යොදා ගැනීමටද හැකිය. මෙරට උක් ගස් මගින් සිනි නිෂ්පාදනය සිදුවේ. මෙහිදී ඉතිරි වන උක් රොටු මගින් මෝටර් රථ ධාවනය සඳහා ජීව ඉන්ධන නිපදවිය හැකිය. මෙය සාර්ථක වුවහොත් එය දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිලටද සාර්ථක විකල්පයක් විය හැකිය.
අප රටේ ප්‍රධානම ආහාරය වන බත නිෂ්පාදන ක්‍රියාවලියේදී හාල් නිපදවීමේ දී දහයියා විශාල ප්‍රමාණයක් ඉතිරි වේ. මෙහිදී දහයියාවලට අමතරව සහල් නිවුඩු ද විශාල ලෙසට නිපදවේ. මේවා දහනය කිරීම මගින් විශාල තාපයක් ජනනය කර ගැනීමට අවස්ථාව තිබේ. මෙම තාපය මගින් විදුලිය නිපදවීමට හැකිය. රජරට ප්‍රදේශයට විදුලිය ලබාදීමේදී මෙම ක්‍රමය සාර්ථක ලෙසට යෙදවීමට අවස්ථා තිබේ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව පෙලනු ලබන එක් අර්බුදයකි නාගරික ප්‍රදේශවල විශාල ලෙසට ජනනය වන කැළි කසළ බැහැර කරන්නේ කොහාටද යන ගැටලුව. බොහෝ බටහිර රටවල් දිනකට ටොන් ගණනින් නිපදවන කැළි කසළ හරහා විදුලිය හෝ ජීව වායුව නිපදවීමට පියවර ගනිමින් සිටියි. මේ හරහා ඔවුන් ප්‍රාථමික බල ශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට පියවර ගනිමින් සිටියි. ඒ අනුව අපට අද හිසරදයක්ව තිබෙන කුණු කසළ බලශක්ති නිපදවීම උදෙසා යොදා ගැනීම මගින් එය ආශිර්වාදයක් කර ගැනීමට අවස්ථාව තිබේ. ඒ වුවද අප අදද කරනුයේ කසළ අර්බුදය විසඳීමට තිබෙන පිළියම් නිසි ලෙස නොයොදා වටපිට අත ගෑම පමණි.
මීළඟට අපට විකල්ප බලශක්ති මගින් විදුලිය නිපදවීමට තිබෙන හොඳම අවස්ථාවකි භූ තාපය යොදා ගැනීම. ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පවතින උණු වතුර ළිං ආශ්‍රිත ප්‍රදේශයේ භූමියෙහි තාපය ඉහළය. මෙය යොදා ගනිමින් අපට විදුලිය නිපදවීමට අවස්ථාව තිබේ. ඒ වුවද අප නිකමට හෝ ඒ පිළිබඳව අවධානය යොමුකර නොමැත.
ශ්‍රී ලංකාවට වසර පුරා හුළං ශක්තිය හොඳින් හිමිවන රටකි. මේ නිසා අපට අපගේ බලශක්තිය නිපදවීම උදෙසා විකල්පය ලෙසට මෙයද යොදා ගැනීමට අවස්ථාව තිබේ. රටවටා පිහිටි වෙරළ තීරයට හොඳ සුළං ප්‍රමාණයක් ලැබේ. මීට අමතරව මධ්‍යම කඳුකරයේ උස කඳු මුදුනද මේ උදෙසා යොදා ගැනීමට අවස්ථාව තිබේ. මීට අමතරව ඌව සහ සබරගමුව ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතවද සුළං විදුලිය නිපදවීමට අවස්ථාව තිබේ. මේ උදෙසා ආරම්භක පිරිවැය තරමක් මිල අධිකය. ඒ නිසා දියුණුවන රටවල් එයට යොමුවීමට මැලිකමක් දක්වනු ලබයි. නමුත් ශ්‍රී ලංකාව දැන් දැන් ඒ දෙසට යොමු වෙමින් සිටියි.
ඝර්ම කලාපීය රටක් ලෙසට ශ්‍රී ලංකාවට මුළු වසර පුරා සූර්යාලෝකය හොඳින් ලැබේ. මේ නිසා අපට සූර්ය ශක්තිය හොඳින් උපයෝගි කර ගැනීමට අවස්ථාව තිබේ. සුළං මගින් මෙන්ම සූර්යතාපය මගින්ද විදුලිය නිපදවීම හරහා පරිසර දූෂණය සිදු නොවේ. දැනට අප රට මෙම බලය යොදා ගනිමින් ඇතැම් ප්‍රදේශවල විදුලි ලාමපු දැල්වීමේ යෙදී සිටියි. මෙය ගෘහස්ථ මට්ටමින්ද යොදා ගැනීමට අවස්ථාව තිබේ. මේ හරහා නිවෙස්වලට ලබාදෙන ජල විදුලි ප්‍රමාණය අවම කිරීමට හැකිවීම මගින් විශාල මුදලක් මෙන්ම බලශක්තිය ද ඉතිරි කර ගැනීමට අවස්ථාව තිබේ.
රට වටා රළ නගන මුහුදද අප හමුවට වෙස් වලාගෙන පැමිණි බලශක්ති ප්‍රභවයකි. මුහුදු රළවල ශක්තිය යොදා ගෙන බලශක්තිය නිපදවීමට අපට අවස්ථාව තිබේ. එලෙසම සාගර උෂ්ණත්වය යොදා ගැනීම මගින් ශ්‍රී ලංකාවට විදුලිය නිපදවීමට අවස්ථාව තිබේ. අප රටේ ත්‍රිකුණාමලය, මඩකලපුව හා ගිනිකොන දිග සාගර කලාපවලදී මෙම ක්‍රමය සාර්ථක ලෙසට යෙදවීමට අවස්ථාව තිබේ. මෙයද පරිසර හිතකාමී ක්‍රියාවලියකි.
මෙලෙස බලද්දී අප තවම අපගේ විදුලි බල අවශ්‍යතාවය ජල විදුලිය හා ඉන්ධන විදුලිය මත රඳවා ගෙන සිටීම විශාල අපරාධයකි. ඊට වඩා අඩු පිරිවැයක් හා අඩු පරිසර දූෂණ තත්ත්වය යටතේ විදුලිය නිපදවීමට අවස්ථාව අප හමුවේ තිබේ. මේ නිසා අප ඒ පිළිබඳව අවධානය යොමු කර ඊට අවශ්‍ය පියවර ගැනීමට මේ හොඳම කාලයයි.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය