බලශක්තිය එදා සහ අද

යම්කිසි කාර්යයක් කිරීමට ඇති හැකියාව ශක්තියයි. විශ්වයේ පැවැත්මට ශක්තිය අත්‍යාවශ්‍යයි. අවශ්‍යය ශක්තිය සපයන වස්තුව ශක්ති ප‍්‍රභවයයි. බලය යන්නෙන්් අදහස් වන්නේ ද මෙම ශක්තියම බවයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ. එහෙත් විද්‍යාඥයන් බලය යන වචනය යොදාන්නේ වෙනත් අර්ථයකටයි. යම් කාර්යයක් කිරීමට අවශ්‍ය කරන ශක්තියේ ප‍්‍රමාණය බලය ලෙසයි ඔවුන් හඳුන්වන්නේ.මානව ඉතිහාසය දෙස බලද්දී එදා සිට අද දක්වාම මිනිසා විසින් පරිභෝජනය කරනු ලබන බලශක්ති ප‍්‍රමාණයේ අඛණ්ඩ වර්ධනයක් දකින්නට ලැබෙනවා. එහෙත් මෙය පළමු කාර්මික විපල්වීය යුගය වනතෙක් මිනිසාගේ බලශක්ති පරිභෝජනය පරිසරයට තර්ජනයක් වුණේ නැහැ.කාර්මික විප්ලවය එනම් 17 වැනි සියවසේ සිට 19 වැනි සියවස දක්වාම මිනිසාගේ බලශක්ති අවශ්‍යතාව සපුරා ලූ ප‍්‍රධානතම බලශක්ති ප‍්‍රභවය වූයේ ගල් අඟුරුයි. ඒ යුගයේ ලෝහ උඳුන්වලට, බොයිලේරුවලට පමණක් නොව වාෂ්ප එන්ජින් වලට ද අවශ්‍ය බලශක්තිය ලබාදුන්නේ ගල් අඟුරුයි.19 වැනි සියවසේ මුල් භාගය තුළ සිදුවුණු නව විද්‍යාත්මක සොයා ගැනීම් බලශක්ති පරිභෝජනයේ ද විපර්යාසයන් ඇතිවුණා. 

විදුලි බලශක්තිය හඳුනා ගැනීම මේ අතරින් ප‍්‍රධාන තැනක් ගන්නවා. කාර්මීකරණ කි‍්‍රයාවලියේ නව නැම්මක් ඇති කරන්නට විදුලි බලය සමත් වුණා. කෙසේ වුව ද විශාල නගරයක පළමු වරට විදුලිය නිෂ්පාදනය සහ බෙදා හැරීම ආරම්භ වුණේ වර්ෂ 1882 දීයි.1859 දී පිහිටවනු ලැබූ ‘ස්ටෑන්ඩර්ඩ් ඔයිල්’ නමැති සමාගම ඛනිජ තෙල් කැනීම්වල සාර්ථකත්වය පෙන්නුම් කළ පළමු මහා පරිමාණ ඛනිජ තෙල් සමාගම වුණා. ඛනිජ තෙල් කැණීම, ගබඩා කිරීම, පිරිසුදු කිරීම හා බෙදා හැරීම ආදී තෙල් නිෂ්පාදන කි‍්‍රයාවලියට මුලින්ම අත ගැසුවේ මෙම සමාගමයි. නූතන මානව සමාජයෙ ප‍්‍රධානතම ශක්ති ප‍්‍රභවය බවට පත්වී ඇත්තේ ඛනිජ තෙල් ය.දෙවැනි ලෝක යුද්ධ සමය බලශක්ති ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. න්‍යෂ්ඨික ශක්තිය උපයෝගී කරගෙන විදුලිය නිපදවීමේ පර්යේෂණ කටයුතු ආරම්භ වූයේ ඒ යුගයේ දීයි. එහෙත් මිනිසාගේ ප‍්‍රධානතම ශක්ති ප‍්‍රභවය බවට පත්ව තිබූ ඛනිජ තෙල්වල ස්ථාවරයට මින් බලපෑමක් වුණේ නැහැ. 20 වැනි සියවසේ 50 - 60 දශකයන්හි දී බටහිර රටවල දක්නට ලැබුණු වේගවත් ආර්ථික වර්ධනයට බොහෝ දුරට ඉවහල් වූයේ ඛනිජ තෙල් ය. ඒ යුගයේදී ලෝ පුරා පැතිරුණු ආකල්පය වූයේ ඉතා දීර්ඝ කාලයකට ප‍්‍රමාණවත් තරම් එහෙමත් නැතිනම් අසීමිත ලෙස බලශක්ති ප‍්‍රභවයන් මිහිතලය සතුව පවතින බවයි. මේ නිසා මේ දශකයන් තුළ දී මිනිසාගේ බලශක්ති පරිභෝජනය පෙර නොවූ විරූ වේගයකින් ඉහළ ගියා.පමණට වඩා එක් ශක්ති ප‍්‍රභවයක් මත රඳා පැවතීමේ අවදානම මිනිසාට අත්විඳින්නට සිද්ධ වූයේ 1973 දී හා 1980 දී ඛනිජ තෙල් අර්බුදය උග‍්‍රවීමෙන් අනතුරුවයි. මැද පෙරදිග ඇති තෙල් නිධි මත පමණක් රඳා පැවතීම අනතුරුදායක බව බටහිර ප‍්‍රජාවට වැටහුණා. මේ තෙල් අර්බුදය නිසා එක් යහපතක් සිදුවුණු බව නම් කිව යුතුමයි. එනම් නව බලශක්ති සොයා ගැනීමේ ප‍්‍රවණතාවයක් ඇතිවීම මීට හේතුවයි. 

විකල්ප බලශක්ති වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම මෙන්ම වඩා පිරිමැසුම්දායී ආකාරයකින් බලශක්ති පරිභෝජනය කරන්නටත් ලෝක ප‍්‍රජාව උනන්දු වූයේ මේ නිසයි.ඒ වගේම 80 දශකය වන විට පාරිසරික ගැටලු පිළිබඳව මිනිසාගේ ආකල්පයන් වල ද දැඩි වෙනසක් සිද්ධ වුණා. මිනිසා භාවිතා කරන ශක්ති පද්ධතියේ අසමතුලිතභාවය නිසා පරිසරයට දැඩි ලෙස තර්ජන එල්ල වී ඇති බව මිනිසාට ක‍්‍රමයෙන් අවබෝධ වෙන්නට පටන් ගත්තා.මෑත කාලීන සංඛ්‍යා ලේඛනවලට අනුව මානව වර්ගයා භාවිතා කරන බලශක්ති ප‍්‍රමාණයෙන් 82% ක්ම ඛනිජ තෙල් ඇතුළු භූගත ඉන්ධන දහනයෙන් ලබාගන්නා අතර ජල විදුලියෙන් 5.5% ක් ද න්‍යෂ්ඨික ශක්තියෙන් 5% ක් ද පිරිමසා ගන්නවා. 80% කටත් වැඩි කොටසක් භූගත ඉන්ධන දහනයෙන් සපුරා ගන්නා විට, ඊට සමාන්තරව වායුගෝලයට එකතුවන  co2  ප‍්‍රමාණය ද ඉහළ යන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.මානව ප‍්‍රජාවගේ බලශක්ති පරිභෝජනය හැකිතාක් දුරට අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇත. සාම්ප‍්‍රදායික බලශක්ති ප‍්‍රභවයන්ගෙන් මිදී පරිසර හිතකාමී, වඩා ඵලදායී විකල්ප බලශක්ති ප‍්‍රභවයන් කෙරෙහි යොමුවීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙනවා. මේ කටයුත්ත තනි පුද්ගලයෙකුට හො තනි රටකට හෝ කළ හැකි දෙයක් නොවේ. මේ සඳහා ලොකු කුඩා දියුණු නොදියුණු සෑම රටක්ම අත්වැල් බැඳ ගත යුතුයි.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය