හරිත බලශක්ති ශූරයා තරඟාවලිය දියත් කරයි

ජර්මනියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ශ්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ ආයතනය හා ඒකාබද්ධව Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH විසින් මෙම “හරිත බලශක්ති ශුරයා˜තරඟාවලිය සංවිධානය කරනු ලැබේ. පුනර්ජනනීය බලශක්ති සංකල්ප සහ බලශක්ති සුරැකුම් සංකල්ප පිළබඳ නව ව්‍යාපෘති අදහස් මෙම තරඟයට ඉදිරිපත් කළ හැකි අතර ඒ අතරින් හොඳම අදහස තෝරා අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතය.
“හරිත බලශක්ති ශුරයා˜ තරඟාවලිය දියත් කිරීමේ අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මෝහාඩ් මහතා ආරාධිත අමුත්තන් ලෙස එක්විය.
මෙම ව්‍යාපෘතිය මඟින් බලශක්ති සංරක්ෂණය පිළිබඳ දිවයින පුරා මහජනතාව දැනුවත් කිරීමට සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳ නව අදහස් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් බලශක්ති සංරක්ෂණය පිළිබද නිසි විසඳුම් සොයාගැනීමට අපේක්ෂිත අතර ඒ සම්බන්ධයෙන් වන හොඳම අදහසට රුපියල් මිලියන 4.7 ක එනම් යුරෝ 30,000 ක මුදලක් පිරිනැමෙයි. එමෙන් ම ජයග්‍රාහී අදහස ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික සහයෝගය ද ලබා දීමට සංවිධායකයෝ අපේක්ෂා කරති.
මෙම අවස්ථාවට එක්වු ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මෝහාඩ් මහතා සඳහන් කලේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීමේ දිගු කාලීන වාසි මෙම නව ව්‍යාපෘතිය තුළින් හිමිවන බවයි. මේ වනවිට බලශක්තිය උත්පාදනය කරන ෆොසිල ඉන්ධන වැනි පරිසරයට අහිතකර ක්‍රමවේද වෙනුවට පරිසර හිතකාමී ලෙස බලශක්ති උත්පාදනය සිදුකළ හැකි ක්‍රමවේද පිළිබඳව වන හොඳම නව යෝජනාව තෝරා ක්‍රියාවට නැංවීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාව බව හෙතෙම පැවසීය. එමෙන්ම මෙවැනි තරඟයක් සංවිධානය කිරීම තුළින් මෙරට ජනතාව බලශක්ති සංරක්ෂණය පිළිබඳ නව සංකල්ප කෙරෙහි උනන්දු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කලේය.
මෙම තරඟය සදහා වන වෙබ් අඩවිය වන www.greenenergychampion.lk වෙබ් අඩවිය දියත් කිරීම ද මෙදින සිදුවු අතර එම වෙබ් අඩවියේ මෙම තරඟය සඳහා වන අයදුම්පත් සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකාව සුර්ය බලශක්තිය සඳහා සුදුසු රටක් වන අතර ජීව වායුව මෙන්ම සුළං බලය ද මෙරට විකල්ප බලශක්ති අතර ප්‍රමුඛ තැනක් ගනියි.මේ වනවිට ජලවිදුලියෙන් බලශක්තිය උත්පාදනය කිරීම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර විකල්ප බලශක්ති ප්‍රභවයන් පිලිබඳව රජයේ අවධානය යොමුව තිබේ.මෙරට දිනෙන් දින වැඩිවන බලශක්ති ඉල්ලුමට අවශ්‍ය වන බලශක්ති සැපයුම සඳහා නව විකල්ප බලශක්ති ප්‍රභවයන් හඳුනාගැනීම මේ අතර ප්‍රමුඛ වෙයි.
ජර්මනිය ලොව සිව්වන විශාලතම ආර්ථිකය හිමි රට වන අතර බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බලශක්තීන් පිළිබඳ කටයුතු කරන ප්‍රමුඛ රටක් වෙයි. ගල් අඟුරු, ගෑස් වැනි ෆොසිල ඉන්ධන හා න්‍යෂ්ටික බලශක්තිය, පුනර්ජනනීය නොවන බලශක්තීන් ලෙස හඳුනාගෙන තිබේ. මේ නිසා භාවිතයෙන් ක්ෂය වී යන බලශක්ති ප්‍රභවයන් වෙනුවට යොදාගත හැකි විකල්ප ප්‍රභවයන් මඟින් 2020 වසර වනවිට, 1990 වසරට වඩා 40% කින් බලශක්ති සංරක්ෂණය කිරීමට ජර්මනිය සූදානම් ව සිටියි. එමෙන්ම 2050 වසර වනවිට එම ප්‍රමාණය 50% ක් දක්වා වැඩි කිරීමට ජර්මනිය අපේක්ෂා කරයි

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය