ශ්‍රී ලංකාව තුළ විකල්ප බලශක්ති ප්‍රභව හඳුනා ගැනීම

බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද ඉල්ලුමක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක.ඉහළ යන ලෝක ඉන්ධන අර්බුධයත් සමඟ විකල්ප බලශක්ති භාවිතය කෙරේ ඉහළ අවධානයක් යොමු වී තිබෙන අතර සූර්ය විදුලි බලය ඒ අතර ඉහළ අවධානයකට ලක් වී තිබේ.සූර්ය විදුලි බලය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනවයි.

ලෝක ඉන්ධන අර්බුධය අද ලෝකය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබේ.ලොව බහුලව භාවිතා කරන බලශක්ති ප්‍රභවය ලෙස පොසිල ඉන්ධන හැඳින්විය හැක.කාර්මික විප්ලවයෙන් පසුව සහ ලෝක ජනගහණ වර්ධනය හේතුවෙන් බලශක්ති භාවිතයේ සීඝ්‍ර ඉහළ යාමක් හඳුනා ගත හැක.පොසිල ඉන්ධන භාවිතයත් සමඟ ක්ෂය වන අතර නැවත නිෂ්පාදනය වසර දහස් ගණනක් තිස්සේ මන්දගාමී ස්වරූපයකින් සිදුවන ක්‍රියාවලියකි.මේ තත්වය තුළ ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබේ.අද දවසේ බලශක්ති භාවිතය එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වී තිබීම තුළ සූර්ය විදුලි බලය,සුළං බලය,මුහුදු රළ,ජීව වායු ආදී විකල්ප බලශක්ති මාධ්‍ය කෙරේ මෑත කාලීන අවධානය යොමු වී තිබේ.මෙම විකල්ප අතරින් සූර්ය විදුලි බලය කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

විශේෂ ලක්ෂණ

පෘථිවි තලයට පතිත වන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ භාවිතා කළ හොත් එමගින් මුළු ලෝකය‍ටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පරීයේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි.එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවි කළ හොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති.සූර්ය විදුලි බල නිෂ්පාදනයේදී මූලික පිරිවැය පමණක් දැරිය යුතු අතර නඩත්තු වියදම් ඉතා අවම මට්ටමක පවතී.එය සූර්ය විදුලි බල භාවිතයේ ප්‍රධානතම ප්‍රතිලාභයකි.පරිසර හිතකාමී බව අනෙක් ප්‍රධානතම ප්‍රතිලාභය ලෙස දැක්විය හැක.

සූර්ය විදුලි භාවිතයේ අවශ්‍යතාව

ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 65% පමණ සිදු වනුයේ ඉන්ධන බලාගාර ආශ්‍රිතවයි.30% පමණ ජල විදුලි බලාගාරආශ්‍රිතව ද ඉතිරි 5% විකල්ප බල ශක්ති මාධ්‍යන් මගින් ද නිෂ්පාදනය කරනු ලබයි.ලංකාවේ විකල්ප විදුලි බල නිෂ්පාදන මාධ්‍යක් ලෙස බහුලව භාවිතා වන්නේ සූර්ය ශක්තියයි.නමුත් එය මුළු විදුලි බල නිෂ්පාදනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.මිලියන 19.5 ක් වන ශ්‍රි ලංකාවේ ජනගහණයෙන් 40% පමණ විදුලි බල පහසුකම් නොමැත.රජයේ දත්ත අනුව ඉන් 50% ආසන්න ප්‍රමාණයකට ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලි බලය ලබා ගැනීමට ප්‍රවේශ විය නොහැක.වාර්ෂිකව ලංකාවේ විදුලි බල ඉල්ලුම 8% ප්‍රතිශතයකින් ඉහළ නගිනු ලබන බව හා 2010 වන විට එය දෙගුණ වන බව මහ බැංකු වාර්තා අනුව පෙනී ගොස් තිබේ.නමුත් මේ වන විට වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතිය මගින් සපයනුයේ 1% ප්‍රමාණයක් පමණි.මේ තත්වය තුළ සූර්ය විදුලි බලය කෙරේ ලංකාව ඉහළ අවධානයක් යොමු කළ යුතුව ඇත.

සූර්ය විදුලිය පිළිබඳ තාක්ෂණය

සූර්ය විදුලි බල නිෂ්පාදනය ඉතා සරල තාක්ෂණයක් භාවිතා කොට සිදු කරන්නකි.එහිදී සිලිකන්(siliken),බෝ‍රෝන්(borown) වැනි ද්‍රව්‍ය භාවිතා කර සකස් කරන ලද පැනලය (panel) මත සූර්ය කිරණ පතිත කළ විට විද්‍යුතය නිෂ්පාදනය වේ.නිෂ්පාදිත විද්‍යුතය පාලකයක්(controller) හරහා ගමන් කරවා බැටරියක් (battery)තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ.මෙම පැනල් විවිධ ධාරිතාවලින් සීමාවකින් තොරව සකස් කළ හැකි අතර සාමාන්‍යයෙන් 40w (වොට්),50w,60w,70w,80 w ආදී වශයෙන් ගෘහස්ථ භාවිතය සඳහා සකස් කර තිබේ. සූර්ය විදුලි බල භාවිතයෙන් විශාල කර්මාන්ත ශාලාවන්හි විදුලි අවශ්‍යතාවය වුවද සපුරාලිය හැක.සූර්ය විදුලිය භාවිතයෙන් තම සම්පුර්ණ විදුලි අවශ්‍යතා සපුරා ගනු ලබන පරිසර හිතකාමී පළමු කර්මාන්ත ශාලාව මේ වන විට කෑගල්ලදිස්ත්‍රික්කයේ ඉදි වෙමින් පවතී.
සූර්ය පැනලය

තාක්ෂණය දියුණු කිරීම

සූර්ය විදුලි බලය මගින් සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝජන අවශ්‍යතා එනම් ආලෝකය ලබා ගැනීම,ගුවන් විදුලි යන්ත්‍ර,කළු සුදු රූපවාහිනී භාවිතය (DC විදුලි උපකරණ) ආදිය ඉටු කර ගත හැක.නමුත් දියුණු කරන ලද ඉන්වර්ටර්(Invertor) තාක්ෂණය භාවිතයෙන් සූර්ය විදුලි බල පද්ධතියක් මගින් ඕනෑම විදුලි බල අවශ්‍යතාවක් ඉටු කර ගත හැකි සේ සකස් කළ හැක.ඒ වැනි පද්ධතියක් මගින් ශීතකරණ,පරිඝනක,වර්ණ රූපවාහිනී වැනි (AC විදුලි උපකරණ) උපකරණද භාවිතා කළ හැක.මෙහිදී දැරිය යුතු මූලික පිරිවැය ඉහළ වීම නිසා මෙම ක්‍රමය ලංකාව තුළ ව්‍යාප්ත වී නොමැත.සාමාන්‍ය ගෘහස්ථ අවශ්‍යතා ඉටු කරන සූර්ය විදුලි පද්ධතියක මිල රුපියල් 50 000 ඉක්මවා තිබෙ.මෙම මිල සාමාන්‍ය ජනතාවට දරා ගත හැකි මිලක් යැයි කිව නොහැක.මූලික අවශ්‍යතා ඉටු කරන සූර්ය විදුලි බල පද්ධතියක මිල එතරම් අධික නම් දියුණු කළ පද්ධතියක මිල කෙසේවත් ජනතාවට දරා ගත නොහැකිවනු ඇත. සූර්ය පැනල නිෂ්පාදනයද ඉතා සරල තාත්ෂණයක් භාවිතා කරනු ලබන්නකි.නමුත් ලංකාවේ සූර්ය විදුලි පද්ධති නිෂ්පාදනය නොකරන අතර ඉන්දියාව,චීනය,ඕස්ටේලියාව වැනි රටවලින් ආනයනය කරනු ලැබේ.මෙහිදී අවධානයට ලක් කළ යුතු ප්‍රධාන කරුණ සුර්ය පැනල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන බෝරෝන්.සිලිකන් වැනි ද්‍රව්‍ය ලංකාවේ පැවතීමයි.එම අමුද්‍රව්‍ය භාවිතා කොට ලංකාව තුළ පැනල් නිෂ්පාදනය කරන්නේ නම් සූර්ය විදුලි පද්ධති වල මිල ඉතා පහළ මට්ටමකට අඩු කළ හැක.

රාජ්‍ය මැදිහත්වීම

සූර්ය විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉතාම පහළ මට්ටමක පවතින අතර මෙම කාර්ය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය වෙත පැවරී ඇත.රජය මගින් ලෝක බැංකු ආධාර මත රුපියල් 10000 ප්‍රතිදානයක් සූර්ය විදුලි බල පද්ධතියක් මිල දී ගන්නා ප්‍රධාන විදුලිය නොමැති පාරිභෝගිකයන් වෙත ලබා දුන්නද එය ප්‍රමාණවත් මැදිහත් වීමක් නොවේ.සර්වෝදය වැනි රාජ්‍ය නොවන සංවිධාන මගින්ද පාරිභෝගිකයන් වෙත ණය පහසුකම් සපයනු ලැබේ.ලංකාවේ සූර්ය විදුලිය සම්බන්ධව Solar Industrial association යන ආයතනය(SIA) ක්‍රියාත්මක වන අතර සූර්ය විදුලි බලය ලබා දීම සම්බන්ධ ආයතන මෙහි ලියාපදිංචි විය යුතුය.දැනට ආයතන 18 පමණ මෙහි ලියාපදිංචි කර තිබේ.

නව ප්‍රවනතා

ලංකාවේ සූර්ය විදුලිය දඹුල්ලකතරගමඇඹ්ලිපිටියරත්නපුරයදැරණියගලයටියන්තොට ආදී ප්‍රදේශවල බහුලව භාවිතා වනු දැකිය හැක.නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද සූර්ය විදුලිය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනු දැකිය හැක.නගර ආශ්‍රිතව සූර්ය උණු ජල පද්ධතිවලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ.ලෝකයේ ඇතැම් රටවල සූර්ය විදුලි බලය මගින් ධාවනය වන මෝටර් රථ,බෝට්ටු ආදියද නිපදවා තිබේ. ජර්මනිය තුළ සූර්ය විදුලිය ඉතා කාර්යක්ෂම හා ඵලදායි ලෙස භාවිතා කරනු ලැබේ.එරට නිවෙස්වල සවි කරන ලද සූර්ය විදුලි පද්ධතිවල අතිරික්ත විදුලි බලය ජාතික පද්ධතිය වෙත එකතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් රජය විසින් නිවැසියන් වෙත ගෙවීමක්ද කරනු ලබයි. ලංකාවේද ඉතාම මෑතදී බත්තරමුල්ලතලවතුගොඩ ප්‍රධාන මාර්ගය තුළ මාර්ග ආලෝකරණ සූර්ය විදුලි ව්‍යාපෘතියක් සකසා තිබේ.මෙම නව නැඹුරුව අගය කළ හැකි තත්වයක් වන අතර එය රට පුරා ව්‍යාප්ත කළ හැකි නම් අගනේය.වර්තමාන විදුලි අර්බුධය ජය ගැනීම‍ට විකල්ප බල ශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ඉතා වැදගත් වනු ඇත.

Comments

Post a Comment

මේ ලිපි කියවා ඔබගේ විචාර පූර්වක අදහස් විනීත බසකින් මෙහි සටහන් කිරීමට සහෘද ඔබ සැමට ලෙන්ගතු හදවතින් කාරුණිකව ඇරයුම් කරමු.

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය