විදුලිය පිරිමසා ජාතික ධනය ඉතිරි කරන LED විදුලි පහන්

ඇඟට පතට නො දැනී ම බලශක්‌ති ඉල්ලුම මොහොතින් මොහොත ඉහළ යයි. මෙය ලොව පුරා ම දක්‌නට ලැබෙන්නකි. මෙයට හේතුව කුමක්‌ ද? හේතුව වත්මන් මිනිසා ගේ අසීමිත අවශ්‍යතා ය. අතීත මිනිසා ගේ එනම් අදින් වසර සියයකට පමණ පෙර විසූ මිනිසා ගේ අවශ්‍යතාත්, වත්මන් මිනිසා ගේ අවශ්‍යතාත් අතර තිබෙන වෙනස මේ බලශක්‌ති ඉල්ලුම ඉහළ යැමෙන් ම පැහැදිලි වෙයි. මෙහි දී පෙනී යන ප්‍රධාන කරුණක්‌ වන්නේ අතීත මිනිසා ගේ අවශ්‍යතා සහ වත්මන් මිනිසා ගේ අවශ්‍යතා අතර වෙනසටත් වඩා එම අවශ්‍යතා ඉටු කර ගැනීමේ දී භාවිත කරන ක්‍රමවේද සඳහා එදාට වඩා අද බලශක්‌තියේ පිහිට අත්‍යවශ්‍ය වී ඇති බව ය.
ගෙවත්තෙන් ලැබුණු දර ඉපලෙන් දෛනික ආහාරය සහ අනෙකුත් දේ එදා පිරිමසා ගත්තත් අද එම කටයුතු විදුලි බලයටත් ද්‍රව වායු ඉන්ධනවලටත් (Liqued Petrolium Gas) බාර දී තිබීම බලශක්‌ති ඉල්ලුම ඉහළ යැමට හේතුවක්‌ වී ඇත. අදින් දශක ගණනාවකට පෙර පාපැදියෙන් ගිය දුර ගමන මෝටර් රථයකට භාර දී ඇත. පයින් ගිය දුර යතුරු පැදියට භාර දී ඇත. ගේ අමදින කොස්‌සේ කාර්යභාරය හූවර් යන්ත්‍රයට පවරා ඇත. ශරීරයට ව්‍යායාමක්‌ ගෙන දී නිරෝගී ගෘහණියක්‌ බිහි කළ මිරිස්‌ ගලක්‌ අද නිවසක දක්‌නට නැත. ඒ වෙනුවට බ්ලෙන්ඩරය ක්‍රියාත්මක වන්නේ විදුලි බලයේ පිහිටෙනි. නිවසක්‌ විදුලි බුබුළුවලින් ආලෝකවත් කෙරෙන්නේ ද අවශ්‍ය සීමා ඉක්‌මවා යමිනි. දේශීය තාක්‌ෂණයට අනුව ආහාර සංරක්‌ෂණය කළ කුස්‌සියේ දුම් මැස්‌ස හා අටුව අද දක්‌නට නැත. එහි කාර්යභාරය ශීතකරණයටත් අධිශීතකරණයටත් භාර දී ඇත. රූපවාහිනිය මෙන්ම පරිගණකය අවශ්‍යතා ඉක්‌මවා පරිහරණය කිරීම ද විදුලිය අසීමිත ලෙස ඉහළ යැමට මඟපාදා ඇත. වෙළෙඳ ප්‍රචාරක කටයුතුවල දී විශේෂයෙන් දැන්වීම් පුවරු සඳහා දිවා රාත්‍රී දෙකේ දී ම දැවෙන විදුලිය අසීමිත ය. වීදි ලාම්පුවලින් අපතේ යන විදුලියේ වටිනාකමේ නිමක්‌ නැත. මෙකී නො කී සියලු ම කටයුතුවල වගකීම විදුලි බලය හා අනෙකුත් බලශක්‌ති ප්‍රභව දැරිය යුතු හෙයින් හා දිනෙන් දින ජනගහනයේ වර්ධනයක්‌ ද සිදු වන හෙයින් බලශක්‌තියේ බරපතළ හිඟයක්‌ උද්ගත වී ඇත.

කෙසේ වුව ද නූතන මිනිස්‌ අවශ්‍යතා සඳහා බලශක්‌තිය භාවිත කළ යුතු ය. එහෙත් එහි ලා පිරිමැසීමක්‌ ද විය යුතු ය. පිරිමැස්‌මක්‌ නොමැති වීම හානියට හේතුවකි.

විදුලිබලය සැලකුව හොත් පිරිමැසීම ආරම්භ කළ යුත්තේ නිවසකිනි. එසේ ම ආගමික ස්‌ථාන වැනි නොමිලයේ ම විදුලියට හිමිකම් කියන ස්‌ථානවල ඒ හේතුවෙන් ම දෝ බලශක්‌ති අර්බුදය ගැන තැකීමකින් තොර ව අසීමිතව විදුලිය පරිභෝජනය කෙරෙයි. එවැනි ස්‌ථානවල වසරකට දවා ලන විදුලියට සීමා පැනවීම වෙනුවට කිසියම් තාක්‌ෂණික උපක්‍රමයකින් දැවෙන විදුලිය ප්‍රමාණය හැකිතාක්‌ අවම කර කරගැනීමට හැකි වුව හොත් එය ජාතික සංවර්ධනයට මහත් පිටිවහලක්‌ වෙයි.

මේ වන විට මෙවැනි ගැටලුවකට උචිත විසඳුමක්‌ ලෙස CFL විකල්පය ද අභිබවා පෙරට පැමිණ තිබෙන්නේ LED විදුලි පහන් ය. මේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවට ද LED විදුලි පහන් ජාතික වශයෙන් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක්‌ ආර්ථික උපදේශකවරයකු වන රවි රන්දෙනිය මහතා සැලසුම් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඒ මහතා සමග කළ සාකච්ඡාවක්‌ ඇසුරෙන් මේ ලිපිය සැකසෙයි.

"ලෝකයේ විදුලි බුබුළු වර්ග 3ක්‌ භාවිත කරනවා. මේ වර්ග තුනේ භාවිත කෙරෙන්නේ තාක්‌ෂණ ක්‍රමවේද තුනක්‌. පරණ විදුලි බුබුළු ඒ කියන්නේ තාප දීප්ත පහන්වලින් (Incandescent light bulb) අධික තාපයක්‌ පිට වෙනවා. එයින් නිපදවෙන්නේ අඩු ආලෝකයක්‌. ඒ කියන්නේ වැය වන විදුලියෙන් සියයට 80ක්‌ ම තාපය ලෙස පිට වෙනවා. ආලෝකය පිට වෙන්නේ සියයට 20යි. මේ නිසා අධික විදුලියක්‌ වැය වෙනවා. අනෙක්‌ වර්ගය තමයි අද අපි බහුලව භාවිත කරන CFL (Compact Flourescents) විදුලි බුබුළු. මේවා තාප දීප්ත පහන්වලට වඩා ලාභදායි. බලශක්‌තිය පිරිමසනවා. බලශක්‌තිය පිරිමසන නිසා වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක්‌ තිබුණත් මේවායේ අඩංගු රසදිය නිසා පරිසර දූෂණයක්‌ සිදු වෙනවා. පරිසර දූෂණය වෙන ම කතා කළ යුතු දෙයක්‌. මේ CFL විදුලි බුබුළු ඇඟලුම් කර්මාන්තය වැනි මහා පරිමාණ කර්මාන්තවලින් අපද්‍රව්‍යයක්‌ වශයෙන් විශාල ප්‍රමාණයක්‌ ඉවතට යැම පරිසර දූෂණයට හේතුවක්‌.

මෙහි දී කිව යුතු දෙයක්‌ තමයි මේ CFL බල්බවලට හොඳ ඉල්ලුමක්‌ තිබෙන නිසා නිසි ප්‍රමිතියක්‌ නැති CFL විදුලි බුබුළු ද වෙළෙඳ පොළේ විවිධ මිල ගණන්වලට තිබීම. එය බලශක්‌ති හානියට මෙන්ම පරිසර දූෂණයටත් හේතුවක්‌. මේවා ඉතා ඉක්‌මනින් පිළිස්‌සී යන නිසා මුදල් අපතේ යැමකුත් සිදු වෙනවා. මේ සඳහා මීට කදිම විසඳුමක්‌ තමයි LED (Light Emitting Diode) විදුලි පහන්. වර්ෂ 1960 දශකයේ තමයි LED මුලින් ම නිපදවන්නේ. ඒත් දැන් තමයි විදුලිය පිරිමසන විදුලි පහනක්‌ ලෙස ලොව ප්‍රචලිත වෙන්නේ. පරිසර දූෂණයක්‌ සිදු වෙන්නේ ම නෑ. ඉතා ම අඩු විදුලියක්‌ තමයි වැය වෙන්නේ. ඉතා ම වැඩි ආලෝකයක්‌ පිට කරන නිසා බලශක්‌ති පිරිමැසීම ඉතා ඉහළ අගයක්‌ ගන්නවා."

වොට්‌ 60ක තාප දීප්ත පහනක ආයු කාලය පැය 1200ක්‌ පමණ වන අතර එමගින් දවා ලන විදුළු බලය කිලෝවොට්‌ පැය 3285කි. (3285KWH/y) මේ සඳහා වැය වන මුදල වසරකට රුපියල් 114621කි.

CFL විදුලි පහනක්‌ මගින් වොට්‌ 13ත් 15ත් අතර විදුලියක්‌ වැය කරන අතර මෙහි ආයු කාලය පැය 8000ක්‌ පමණ වෙයි. මෙමගින් දවන විදුලිබල ධාරිතාව කිලෝවොට්‌ පැය 767 (767kwh)කි. මේ සඳහා වැය වන මුදල වසරකට රුපියල් 23973කි.

LED විදුලි පහනක්‌ සැලකීමේ දී වොට්‌ 6ත් 8ත් අතර ප්‍රමාණයක්‌ වැය වන අතර ආයු කාලය පැය 50000ක්‌ පමණ වෙයි. දැවෙන විදුලිය ප්‍රමාණය කිලෝ වොට්‌ පැය 329කි. වසරකට වැය වන මුදල රුපියල් 8205කි.

මේ දත්ත පිළිබඳව විමසීමේ දී CFL විදුලි බුබුළකට වඩා LED විදුලි පහනක්‌ විදුලිය පිරිමැසීම අතින් මෙන්ම වැය වන මුදල පිරිමැසීම අතින් ද අතිශය වාසිදායක බවක්‌ පෙන්වයි.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය