ශ‍්‍රී ලංකාවේ අනාගත බලශක්ති සංවර්ධනය

ජාතික සංවර්ධන ප‍්‍රතිපත්ති සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ දී ඉලක්කගත සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම පසෙකලා දේශපාලන හා වෙනත් න්‍යායපත‍්‍ර කි‍්‍රයාත්මක වීමේ භයානක ප‍්‍රතිඵල අත්විඳි ක්ෂේත‍්‍රයක් ලෙස විදුලිබල ක්ෂේත‍්‍රය පසුගිය කාලපරිච්ඡේදයේ දී ජනතාව ඉදිරියේ දැඩි අවධානයට හා විවේචනයට ලක් විය.
1990 දශකයේ අගභාගයේ දී රටේ ජාතික සංවර්ධන ගමන් මග වේගවත්වීමත් සමඟ ගෘහස්ත, කර්මාන්ත හා වානිජ්‍ය ක්ෂේත‍්‍රවල විදුලි පාරිභෝගික ඉල්ලුමේ සිදුවූ ප‍්‍රසාරණය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ විදුලිබල ඉල්ලුම දිනෙන් දින වර්ධනය වුවත්, විදුලිබල අවශ්‍යතා ඉටු කිරීමට එවකට පැවති රජයවලට නොහැකිවීම ඇතැම් අවස්ථාවල දී විදුලිය අඛණ්ඩව සැපයීමට නොහැකි වීමෙන් රාජ්‍ය පාලනයේ වෙනසක් ඇති කිරීමට පවා ජනතාව ප‍්‍රතිචාර දැක්වූ බව රහසක් නොවේ.
මහින්ද චින්තන ප‍්‍රතිපත්ති
ශ‍්‍රී ලංකාවේ අනාගත බලශක්ති සංවර්ධනය උදෙසා සකස්කළ සැලසුම්, යෝජනා හා විවිධ ව්‍යාපෘති දීර්ඝ කාලයක් මුළුල්ලේ විදුලිබල අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ගොනු අතර සිර වී පැවති යුගයක ‘මහින්ද චින්තන ප‍්‍රතිපත්ති’ යටතේ දේශපාලන හා වෙනත් න්‍යායපත‍්‍ර පසෙකලා ජාතික සංවර්ධන ප‍්‍රතිපත්ති වලට මූලිකත්වය දෙමින් බලශක්ති ක්ෂේත‍්‍රය සංවර්ධනය කිරීම සඳහා දශක ගණනාවක් මුළුල්ලේ ප‍්‍රමාද කළ ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය, පුත්තලම නොරොච්චෝලේ ගල්අඟුරු ව්‍යාපෘතිය හා කෙරවලපිටිය තාප විදුලිබලාගාරය ඉතා කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වර්තමාන විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාට භාර කළ අභියෝගය යථාර්ථයක් බවට පත් කරමින් මෙගාවොට් 1350 ක දැවැන්ත විදුලිබලාගාර ව්‍යාපෘති 03 ක් ආරම්භ කිරීම නව බලශක්ති ක්ෂේත‍්‍රයේ අරුණලු උදාවක් ලෙස සනිටුහන් කළ යුතු ය.
ජල විදුලි බලාගාරවල ධාරිතාවය සීමාවීම
1950 දශකයේදී ජල විදුලි බලාගාර ඉදිකිරීමෙහි ලා රටේ ඇති වූ පුනර්ජීවය ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර බලාගාර ඔස්සේ තවදුරටත් වර්ධනය වෙමින් උකුවෙල, බෝවතැන්න, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, සමනළ හා මහවැලි ජලවිදුලි බලාගාර සංකීර්ණ ඔස්සේ එදා රටේ සමස්ත විදුලි ඉල්ලුම ජලවිදුලි බලාගාරවලින් සපුරාලනු ලැබූවත් 1990 දශකයේ අගභාගයේදී ඇති වූ විදුලි ඉල්ලුමේ ශීඝ‍්‍ර වර්ධනය තවදුරටත් ජලවිදුලිබලාගාර මත පමණක් ලබාදීමට නොහැකිවීම මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ අර්බුදකාරී මාර්ගයකට ප‍්‍රවේශයක් විය.
රටේ සමස්ත විදුලි ඉල්ලුමෙන් ජලවිදුලිබල ධාරිතාවය 35% කට සීමාවීත්, ඉතිරි 65% ක විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා සැලසුම් කළ වෙනත් විකල්ප බලශක්ති වැඩසටහනකට යොමු නොවී එදා පැවති රජයන් ඛනිජ තෙල් මිල ගණන් පිළිබඳව විශ්වාසය තබමින් ඩීසල් විදුලිබලාගාර සංවර්ධනය කිරීමට යොමුවීමේ ප‍්‍රතිවිපාක අද සමස්ත බලශක්ති ක්ෂේත‍්‍රය පුරා පැතිරී තිබෙන අතර එයින් මහජනතාව මහත් අපහසුතාවට පත් වී තිබේ. ලෝකයේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල පවා විදුලිය නිපදවීමේ දී ඉතාම අඩු ප‍්‍රවනතාවයක් ඉන්ධන මත ලබාගත්ත ද ශ‍්‍රී ලංකාවේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 65% ක් ඩීසල් මත රැඳී සිටීම තුන්වෙනි ලෝකයේ රටක් වශයෙන් අප බලවත් ආර්ථික පීඩනයට ලක් වී තිබේ.
ඩීසල් බලාගාර මත යැපීම
විදුලිබල නිෂ්පාදනයේ අඩු පිරිවැයක් සහිත ලාභදායි බලශක්ති ප‍්‍රභවය ජල විදුලි බලය වුවත් ඊට සාපේක්ෂව ලාභදායි විකල්ප බලශක්ති ප‍්‍රභවයන් ලෙස ගල්අඟරු වැනි බලශක්ති ප‍්‍රභවයන් කරා යාමේ සැලසුම් හා යෝජනා 1990 දශකයේ අගභාගය වනවිට ලංකා විදුලිබල මණ්ඩලය සතු වුවත්, ඒවා කි‍්‍රයාත්මක කිරීමේ පරිපාලන යාන්ත‍්‍රනවල තිබූ මන්දගාමී කි‍්‍රයාකාරිත්වය හේතුවෙන් ගල්අඟුරු බලාගාර වෙනුවට ඩීසල් බලාගාර මගින් විදුලිය නිපදවීමට යොමු වීම 1990 දශකයේ අගභාගයේදී ගැටලුවක් නොවුණත්, ලෝක වෙළෙඳපලේ බොරතෙල් බැරලයක මිල නොසිතූවිරූ ලෙස පසුගිය කාල පරිච්ඡේදයේදී ඉහළයාම ශ‍්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට බරපතළ ආර්ථික අර්බුදයන් නිර්මාණය කර තිබේ.
1990 දශකයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 10 ක අඩු වුවත්, වර්තමානයේ එය වේගයෙන් ඉහළයාම ශ‍්‍රී ලංකාවේ බරපතල සමාජ ආර්ථික අර්බුදයක් බවට නිර්මාණය වී ඇතත් එය විදුලිබල ක්ෂේත‍්‍රයට එල්ල වූ දැවැන්ත මරු පහරක් විය.
මිලියන 3.5 ක් වන විදුලි පාරිභෝගික ජනතාවට කබලෙන් ළිපට ඇද දමමින් දිනෙන් දින ඉහළ යන ඩීසල් මිල ගණන් හමුවේ විදුලි ඒකක නිෂ්පාදන වියදම ද රු. 15 සිට රු. 30 දක්වා ඉහළ යාම හේතුවෙන් විටින්විට විදුලි ගාස්තු සංශෝධනයන්ට මුහුණදීමට සිදුවීම බරපතළ ආර්ථික ගැටලුවකි.
එක් අතකින් ඩීසල් මිල ගණන් ඉහළ යාමත්, අනෙක් පැත්තෙන් රටේ විදුලි ඉල්ලුම ඉහළයාමත් ඊට විසඳුම් ලෙස යෝජිත බලාගාර නිසි කලට ඉදි නොකිරීමක් බලශක්ති ක්ෂේත‍්‍රයේ දැඩි අර්බුදකාරී තත්ත්වයන් මුහුණදීමට සිදුවූ අවස්ථාවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය මේ ගැටලුවට විසඳුම් සෙවීමේ අභියෝගය භාරගත්තේ ය.
ජාතික සංවර්ධන සැලසුම් දේශපාලන තීන්දු තීරණ මත වෙනස් නොකර රටේ ජාතික අවශ්‍යතාවන් මැනවින් තේරුම්ගත් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ විදුලිබල අර්බුදය ජයගැනීමේ අභියෝගය මහත් කැපවීමෙන් භාරගත් වර්තමාන විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා 2008, 2009 වර්ෂයේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට කෙටිකාලීන විසඳුම් ලබාදෙමින් එතෙක් යෝජනාවක් ලෙස හමස් පෙට්ටියේ පැවති කෙරවලපිටිය චකී‍්‍රය විදුලි බලාගාර ව්‍යාපෘතිය රටට ප‍්‍රයෝජනවත් ලෙස ආරම්භ කිරීමේ පරිසරය ඉතා කඩිනමින් සකස්කර අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබාගෙන වසරක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුළ මෙම දැවැන්ත විදුලිබලාගාරය ඉදිකිරීමට පුරෝගාමී නායකත්වයක් ලබාදීම ජාතියේ පැසසුමට ලක්විය යුතු අතර කෙරවලපිටිය බලාගාරය මේ වසරේ නිම නොවන්නට බරපතල විදුලි අර්බුදයකට රට ගමන් කිරීම නොවැළැක්විය හැකි ය. එසේ වූවානම් ශ‍්‍රී ලංකාව ලබා ඇති 6.2% ක ආර්ථික වර්ධන වේගයට ද යම් අහිතකර බලපෑම් වලට මුහුණ දීමට ඉඩ තිබුණි.
ශ‍්‍රී ලංකාවේ වාර්ෂික විදුලි නිෂ්පාදනය මුළු ධාරිතාව මෙගාවොට් 2406 කි. එයින් ලංකා විදුලිබල මණ්ඩලය සතු ධාරිතාව මෙගාවොට් 1739 කි. ඉන් මෙගාවොට් 1207 ලං.වි.ම. ජලවිදුලි බලාගාර වලින් ද, මෙගාවොට් 529 ක් ලං.වි.ම. තාප බලාගාරවලින් ද මෙගාවොට් 3 ක් සුළං බලාගාරවලින් ද ලැබේ.
පෞද්ගලික අංශය සතු මුළු ධාරිතාව මෙගාවොට් 667 කි. එහෙත් වාර්ෂිකව වැඩිවන 8% ක විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මෙම ධාරිතාව ප‍්‍රමාණවත් නොවේ.
විදුලි ඉල්ලුමේ වර්ධනයට සාපේක්ෂව මෙගාවොට් 200 ක අතිරේක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්විය යුතු නමුත් පසුගිය කාල පරිච්ඡේදයේදී එසේ සිදු නොවීය.
කෙරවලපිටිය බලාගාරය
වසර ගණනාවක සිට විදුලි ඉල්ලුමට සාපේක්ෂව විදුලිබල ජනනය වර්ධනය නොවීමෙන් 2008-2009 වර්ෂයේදී විදුලිබල ක්ෂේත‍්‍රයට දැඩි අවදානම් වර්ෂයක් විය.
විදුලිය කැපීමක් පිළිබඳව විවිධ මතධාරීන් අනතුරු අඟවා තිබියදී රටේ සංවර්ධන ඉලක්කයන් සපුරාලමින් විදුලිය කැපීමේ අනතුරු සංඥා ඉවත් කරමින් වසරක වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කළ කෙරවලපිටිය චකී‍්‍රය තාප විදුලි බලාගාරය සැප්තැම්බර් මස මුල් භාගයේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 200 ක ධාරිතාවයක් 2009 වර්ෂයේදී ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇත.
කෙරවලපිටිය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙම කාලපරිච්ඡේදයේදී ලබා දෙන දායකත්වය ශී‍්‍ර ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ප‍්‍රවාහයේ ඉතා වැදගත් භූමිකාවකි.
ලංවීමට බිලියන 18 ක ඉතිරියක්
ශී‍්‍ර ලාංකීය ඉතිහාසයේ දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් ඉදිකෙරුණ ලැබූ කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවය මෙගාවොට් 300 කි.
එහි වාර්ෂික උත්පාදනය ගිගාවොට් පැය 1800 කි. මෙම බලාගාරය නිසි වේලාවට ඉදිකිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රු. බිලියන 18 ක වාර්ෂික ඉතිරියක් වන බව මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරන ලංකා විදුලිබල මණ්ඩලයේ උප සමාගමක් වන ලක්දනවි සමාගම පවසයි.
ඇමරිකානු ඩොලර් මිලියන 300 ක වියදමින් ඉදිකළ කෙරවලපිටිය බලාගාරය ද්විත්ව කි‍්‍රයාකාරී චකී‍්‍රය බලාගාරයකි. එහි මුල් අදියර යටතේ මෙගාවොට් 200 ක ධාරිතාවයක් ලාභදායි බොර තෙල්වලින් ද ඉතිරි මෙගාවොට් 100 ක
ධාරිතාවය ස්වාභාවික ගෑස් මගින් ද නිපදවනු ලැබේ. මෙහි කි‍්‍රයාකාරිත්වය සඳහා ගෑස් ටර්බයින් යන්ත‍්‍ර 02 ක් සවිකර ඇති අතර, එය ඇමරිකාවේ ජෙනරල් ටේ‍්‍රඩින් සමාගමෙන් ආනයනය කර ලෝකයේ ඉහළම ප‍්‍රමිතීන්වලට අනුකූලව ඉදිකර තිබේ.
වසර ගණනාවක සිට යෝජනාවක් මත පමණක් තිබූ කෙරවලපිටිය බලාගාරය මහින්ද චින්තන ප‍්‍රතිපත්ති යටතේ නිම කළ ප‍්‍රථම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය අරමුදල් දායක කරගෙන ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම ද විශේෂත්වයකි. සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලක්දනවි යන ආයතන ඊට මූල්‍යාධාර සපයා තිබේ.
දේශීය අරමුදල් යටතේ රු. මිලියන 12,223 ක්ද විදේශ අරමුදල් යටතේ යුරෝ මිලියන 152 ක්ද ආයෝජනය කර තිබේ.
වර්තමානයේ රජයේ දැවැන්ත සංවර්ධන කාර්යභාරයන් ඉටු කරමින් පවතී. මේ වන විට ජනතාවගෙන් 83% කට විදුලිය ලබාදී තිබේ.
ඉතිරි 17% ක ජනතාවට විදුලි බලය ලබාදීම සඳහා ග‍්‍රාමීය විදුලිබල සැපයුම පුළුල් කිරීමේ යෝජනා ක‍්‍රම රාශියක් කි‍්‍රයාත්මක වෙමින් පවතී.
ඉදිරි දශකය තුළ රටේ බලශක්ති අර්බුදයක් ඇති නොවන ලෙස ඉදිකළ යුතු බලාගාරවල මූලික කටයුතු ද විදුලිබල අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
ති‍්‍රකුණාමලයේ මෙගාවොට් 2000 ක ගල්අඟුරු බලාගාර 02 ක් ඒ අතර වේ. කෙරවලපිටිය ප‍්‍රදේශයේ මෙගාවොට් 500 ක ස්වාභාවික ගෑස් බලාගාරයක් ඉදිකිරීමට මූලික කටයුතු සිදුවෙමින් පවතී.
මෙගාවොට් 90 ක ධාරිතාවයක් සහිත උමාඔය ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ. බ්‍රෝඩ්ලන්ඩ් මොරගොල්ල, ගිං ගඟ වැනි මධ්‍ය පරිමාණ ජලවිදුලි බලාගාරවල ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාරවලින් දැනට ලැබෙන මෙගාවොට් 80 ක ධාරිතාවය ද මෙගාවොට් 400 ක් දක්වා සංවර්ධනය කිරීමටද සුළං, ඩෙන්ඩෙ‍්‍ර¤, ජීව වායු, ඉවතලන කුණු, උක්රොඩු භාවිතයෙන් විදුලිය නිපදවීමට ද අවශ්‍ය කටයුතු මේ වන විට කි‍්‍රයාත්මක කර තිබේ.
වසර 3 ක් කළ වැඩ
අතීතයේ සැලැසුම්වලට පමණක් සීමාවූ විදුලිබල ක්ෂේත‍්‍රය රටේ ජාතික සංවර්ධන අවශ්‍යතා මැනැවින් අවබෝධ කරගෙන ජනතාවගේ විදුලිබල අවශ්‍යතා ඉටුකරමින් දැරිය හැකි මිලකට කාර්යක්ෂමව ලබාදීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ලබාදී ඇති සකී‍්‍රය දායකත්වය පිළිබඳ හා වර්තමානයේ එහි කටයුතු පිළිබඳ ජනතාවට යම් විශ්වාසයක් ගොඩනැගී තිබෙන බව නම් පැහැදිලි වේ.
මහින්ද චින්තන ප‍්‍රතිපත්ති යටතේ බලශක්ති සංවර්ධන ජාතික සංවර්ධනයේ ප‍්‍රධානම භූමිකාව බවට පත්වෙමින් කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත, ආයෝජන ව්‍යාපෘති, වාණිජ සේවා, ආයතන, සංචාරක කර්මාන්තය, ග‍්‍රාමීය කර්මාන්ත වර්ධනය ඇතුළු සමස්ත ආර්ථිකයේ සකී‍්‍රය කි‍්‍රයාකාරිත්වය විදුලිබලය මත රඳ්‍ර පවතිනවායැයි පැවසුවොත් වඩාත් නිවැරැදිය.
රුසියානු නායක වී.අයි. ලෙනින් වරක් පැවසුවාක් මෙන් රටක ඉදිරි ගමන්මග විදුලිබලය මත රඳ්‍ර පවතිනු ඇතැයි යන කියමන සංවර්ධනය සම්බන්ධයෙන් අපට බැහැර කළ නොහැකිය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පසුගිය වසර 03 ක වැනි කෙටි කාලය ඇතුළත දැවැන්ත විදුලි බලාගාර රාශියක් ඉතා කෙටි කාලපරිච්ඡේදයක් තුළ ආරම්භ කරමින් ඉදිරි දස වසර තුළ ජාතික විදුලිබල පද්ධතියට මෙ.වො.
6000 ක ධාරිතාවක් එක්කිරීම සඳහා කි‍්‍රයාකාරී වැඩපිළිවෙළකට ගමන් කිරීම මහවැලි බලාගාර සංකීර්ණය තුළින් රටට දායාද කළ ධාරිතාවයට වඩා දස ගුණයකින් රටේ බලශක්තිය එක් කිරීමක් ලෙස සනිටුහන් කළ යුතුය.
එවන් කාර්යභාරයක් ඉතිහාසයේ කෙටි කාලපරිච්ඡේදයක් ඇතුළත සනිටුහන් වී නැතත්, වර්තමානයේ එවැනි දැවැන්ත කාර්යභාරයට නායකත්වය හා මඟපෙන්වීමට ලැබීම, රටක් වශයෙන් යෝධ සංවර්ධන පියවරක් ඉදිරියට තබා ඇති බව පැහැදිලිය.
එහි කාර්යක්ෂම ප‍්‍රතිඵල නෙළා ගතහොත් බලශක්ති සංවර්ධනයෙහිලා ශී‍්‍ර ලාංකීය භූමිකාව දකුණු ආසියාතික වශයෙන් ද ඉතා වැදගත් වන බව පෙන්වා දිය යුතුය.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය