න්‍යෂ්ටික බලය පිළිබඳ නව පර්යේෂණ දෙකක්‌

මේ වර්ෂයේ මුල දී ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ඇති වූ අනතුරෙන් පසුව න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති වී තිබෙන්නේ කිසියම් අවිනිශ්චිත තත්ත්වයකි. මේ තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල හා විවිධ ආයතනවල වැඩි අවධානයක්‌ න්‍යෂ්ටික බලශක්‌ති උත්පාදනය පිළිබඳව යොමු වී තිබේ. මේ වන විටත් න්‍යෂ්ටික බලය භාවිතයට ගන්නා රටවල් මෙන්ම මෙතෙක්‌ එය යොදා නොගන්නා රටවල් ද මේ අතර වේ.

න්‍යෂ්ටික බලාගාරවල පවත්නා අනතුරුදායක තත්ත්වය මෙන් ම න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී ඇති වන ගැටලූ මේ ආකාරයෙන් සැලකිල්ලට ලක්‌ව ඇති මාතෘකා අතර වේ. එසේ ම න්‍යෂ්ටික බලය වෙනුවට යොදාගත හැකි විකල්ප බලශක්‌ති ප්‍රභව මෙසේ සාකච්ඡාවට ලක්‌ව ඇති කරුණකි. දෙවැනි කරුණ වැදගත් වන්නේ ලෝකයේ බලශක්‌ති අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවත්නා නිසා ය.

මේ කරුණු සමහරක්‌ පිළිබඳව අපි වරින් වර මේ තීරුව ඔස්‌සේ සාකච්ඡා කළෙමු. මේ හා සම්බන්ධව වැදගත් වන ලිපි දෙකක්‌ මෑත සති කිහිපය තුළ ප්‍රකාශයට පත්ව ඇති ලිපි දෙකක්‌ ගැන අපේ අවධානය යොමු කිරීම සුදුසු බව අපි සිතුවෙමු. ඉන් එකක්‌ න්‍යෂ්ටික අපද්‍රව්‍ය පාලනය කිරීම පිළිබඳව ය. අනෙක න්‍යෂ්ටික බලශක්‌තියට විකල්පයක්‌ ලෙස දැව ඉන්ධන යොදා ගැනීමට ඇති හැකියාව හා සම්බන්ධව ය.

න්‍යෂ්ටික අපද්‍රව්‍ය ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද?

භාවිත කළ න්‍යෂ්ටික ඉන්ධන හෙවත් න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැරලීම පිළිබඳ ගැටලූව ලෝකයේ න්‍යෂ්ටික බලය හා සම්බන්ධව ඇති මූලික ගැටලූවලින් එකකි. බොහෝ න්‍යෂ්ටික බලාගාරවල මේ අපද්‍රව්‍ය තැන්පත්ව ඇත්තේ ඒවා ආරක්‌ෂාකාරී ලෙස ගබඩා කිරීම සඳහා විසඳුමක්‌ නොමැති වීම නිසා ය. මේ අපද්‍රව්‍ය එක්‌ රැස්‌වීම ම ගැටලූවක්‌ බවට පත්වන දිනය වැඩි ඈතක නො වේ. ඇතැම් රටවල මෑත දී ඉදිකර ඇති මෙන් ම ඉදිකෙරෙමින් පවත්නා න්‍යෂ්ටික බලාගාරවල අපද්‍රව්‍ය ගබඩා කරන ආකාරය පවා තවමත් තීරණය කර නොමැත. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ අපද්‍රව්‍ය ආරක්‌ෂාකාරී ලෙස තැන්පත් කිරීම පිළිබඳව අදාළ බලාගාරවල කටයුතු ආරම්භ කිරීමේ දී තීරණය නො වීම නිසා ය. බොහෝ රටවල බලධාරීන් තීරණය කරනු ලබන්නේ අවසන් මොහොතේ පමණ ය. බලශක්‌ති අවශ්‍යතාවය පිළිබඳ තරම් සැලකිල්ලක්‌ එහි අපද්‍රව්‍ය බැහැරලීම පිළිබඳව නො දැක්‌වීමට එක්‌ හේතුවක්‌ වන්නේ ඊට අධික වැයක්‌ දැරිය යුතු වීම විය හැකි ය.

න්‍යෂ්ටික බලය පිළිබඳ ජාත්‍යන්තර සඟරාවක පසුගියදා පළ වූ එක්‌ ලිපියකට අනුව න්‍යෂ්ටික අපද්‍රව්‍ය පාලනය කිරීම සඳහා වන උපාය මාර්ගය ඒවා උත්පාදනයේ සිට අවසන් බැහැරලීම දක්‌වා වූ සමස්‌ත ක්‍රියාවලිය (From cradle to grave) පිළිබඳව සලකා බලමින් සකස්‌ කරන ලද්දක්‌ විය යුතු ය. ඒ අනුව විවිධ මට්‌ටම්වල න්‍යෂ්ටික අපද්‍රව්‍ය දිගුකාලීන ලෙස ගබඩා කිරීමට අමතරව මධ්‍යකාලීන වශයෙන් ගබඩා කිරීම සඳහා අවශ්‍ය උපක්‍රම න්‍යෂ්ටික බලය භාවිත කරන රටවල තිබිය යුතු බව මෙහි පෙන්වා දී තිබේ. මෙතෙක්‌ අසීරු කරුණක්‌ යෑයි සිතූ ප්‍රබලතාවයෙන් අධික න්‍යෂ්ටික අපද්‍රව්‍ය පවා ගබඩා කළ හැකි තාක්‌ෂණය පවා ලෝකයේ තිබේ. න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සැලැස්‌මක්‌ බලාගාර ආරම්භයේ දීම තිබීම න්‍යෂ්ටික බලයට එරෙහි විරෝධයට ද පිළිතුරක්‌ සේ සැලකිය හැකි බව ද මෙහි පෙන්වා දී ඇත. (මූලාශ්‍රය( Bulletin of the Atomic Scientists,
DOI: 10.1177/0096340211413357)

න්‍යෂ්ටික බලයට විකල්පයක්‌ ලෙස දැව ඉන්ධන

න්‍යෂ්ටික බලය වෙනුවට විකල්පයක්‌ අවශ්‍ය බව ඉතා පැහැදිලි ය. මේ සඳහා විවිධ රටවලින් විවිධ විකල්ප බලශක්‌ති ප්‍රභව යෝජනා වී තිබේ. මේ අතර වැඩි වශයෙන් ඇත්තේ සූර්ය බලය, සුළං බලය වැනි විවිධ පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභවය. නිදසුනක්‌ ලෙස ජපානයේ බලශක්‌ති අවශ්‍යතාවය සඳහා දැව ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පසුගියදා නිකුත් වූ ලිපියක්‌ දැක්‌විය හැකි ය. මේ වන විට ජපානයේ යොදා ගැනෙන පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය මුළු බලශක්‌තියෙන් සියයට 5ක්‌ තරම් නිසා මෙන්ම එරට හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය පාලනය කිරීම සඳහා ද පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව භාවිතය වැදගත් වේ.

මේ වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයට ජපානයේ දැකිය හැකි හෙක්‌ටාර මිලියන 25.1ක්‌ පමණ වන වනාන්තර (රටේ බිම් ප්‍රමාණයෙන් සියයට 67ක්‌) මනාව කළමනාකරණය කිරිම මගින් එරටට දැව ජෛව ඉන්ධන නිපදවීම සඳහා අවශ්‍ය දැව ලබා ගැනීමට අවස්‌ථාව තිබේ. මේ වනාන්තර අතරින් හෙක්‌ටාර මිලියන 10ක්‌ පමණ වගා කරන ලද වනාන්තර වේ. මගින් එරටට අවශ්‍ය බලශක්‌තිය සපයා ගැනීමට මෙන්ම එරට වනාන්තර වඩාත් තිරසාර ලෙස කළමනාකරණය කර ගැනීමට ද හැකියාව ඇති බව පෙන්වා දී තිබේ. වෙනත් රටවල මේ හා සම්බන්ධව යම් යම් පියවර ගෙන ඇති අතර ජපානයේ එවැනි කාර්යයක්‌ සඳහා කළ යුතු බොහෝ දේ තිබේ. ඒ අතර අවශ්‍ය තරම් නිලධාරින් පත් කිරීම, කළමනාකරණය නො කරන වනාන්තර කළමනාකරණය කිරීම වැනි කටයුතු සිදු කළ යුතු ය. කෙසේ වෙතත් දැව ඉන්ධන යොදා ගැනීම හරිතාගාර වායු විමෝචන පාලනය කිරීමට මෙන් ම හරිත රැකියා ප්‍රවර්ධනය සඳහා ද ප්‍රයෝජනවත් බව පැහැදිලි ය. (මූලාශ්‍රය( Energies, DOI: 10.3390/ en4071051)

පුවත් සැකෙවින්

වායු දූෂණයෙන් හෘදයාබාධ - තවත් සාධක

අධික වායු දූෂණය නිසා හෘදයාබාධ ඇති වීමට ඇති අවදානම ඉහළ යා හැකි බව මෑත කාලයේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ රැසකින් පෙන්වා දී තිබේ. එවැනි අවස්‌ථා අපි මේ තීරුව ඔස්‌සේ ද මින් පෙර පැහැදිලි කර ඇත්තෙමු. මෑත දී ඉතාලියේ සිදුකරන ලද පර්යේෂණයකින් ද මේ බව තවදුරටත් තහවුරු වී තිබේ. ඊට අනුව අධික වායු දූෂණයක්‌ පවත්නා දින ආශ්‍රිතව හෘදයාබාධ තත්ත්ව ඇති වී නිසා රෝහල්ගත කරන රෝගීන් ගේ ප්‍රමාණයේ පැහැදිලි ඉහළ යාමක්‌ දැකිය හැකි ය. එසේම දැනටමත් හෘදය හා පෙනහළු ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින වැඩිහිටියන් මේ වැඩි අවදානමට ලක්‌ව සිටින පිරිස අතර වේ.

මෙහි දී හෙළි වී ඇති පරිදි PM
10 කාණ්‌ඩයේ අංශ්‍රමය ද්‍රව්‍ය සාන්ද්‍රණය වාතය ඝන මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 10කින් පමණ ඉහළ ගිය අවස්‌ථාවල දී ඉන් පසු ගෙවී යන දින දෙකක පමණ කාලය තුළ හෘදයාබාධ නිසා රෝහල්ගත වන පිරිස 0.01%කින් පමණ ඉහළ යන බව හෙළි වී ඇත. කාබන්මොනොක්‌සයිඩ් හා නයිට්‍රජන්ඩයොක්‌සයිඩ් හා සම්බන්ධව ද පැවතියේ මේ හා සමාන තත්ත්වයකි. හෘදයාබාධ ඇති වීම සඳහා වායු දූෂණයේ සෘජු සම්බන්ධයක්‌ ඇති බව මෙතෙක්‌ හෙළි වී නැතත්, කෙටි කාලීන වායු දූෂණය එA තත්ත්වය කෙරේ යම් බලපෑමක්‌ ඇති කරන බව පෙනේ. (මූලාශ්‍රය( American Journal
of Epidemiology, DOI: 10.1093/aje/
kwr046)

දේශගුණ වෙනස්‌ වීම හා සත්ත්ව රෝග

දේශගුණ වෙනස්‌ වීමෙන් ඇතිවන අයහපත් ප්‍රතිඵල අතර විවිධ රෝග කාරක මගින් වැළඳෙන රෝග ව්‍යාප්ත වීමට හැකිවීම වැදගත් ය. මෙය සත්ත්ව රෝග සඳහා ද පොදු බව ගවයන්ට හා බැටළුවන්ට වැළඳෙන රෝගයක ව්‍යාප්තිය පිළිබඳ සිදුකරන ලද පසුගියදා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත.

වයිරසයක්‌ මගින් ව්‍යාප්ත වන ඊකමැඑදබටමැ නම් මේ රෝගය ආසියාවේ හා අප්‍රිකාවේ දැකිය හැකි වූ අතර දැන් යුරෝපයට ද ව්‍යාප්ත වී තිබේ. 1998-2010 අතර කාලයේ යුරෝපයේ එය වසංගතයක්‌ සේ ව්‍යාප්ත වූ වාර ගණන 80,000ක්‌ පමණ වේ. මේ රෝගය පැතිරීමට දේශගුණ සාධක (ඉහළ යන උෂ්ණත්වය) හේතු වන බව මේ පර්යේෂණයේ දී යෝජනා කර ඇත. මේ අනුව අනාගතයේ දී ඇති විය හැකි උෂ්ණත්වය ඉහළ යාම තුළ මේ රෝගයේ ව්‍යාප්තිය වඩාත් බරපතළ විය හැකි ය. එය වෙනත් රෝග සඳහා ද පොදු විය හැකිය. (මූලාශ්‍රය (Journal of the Royal Society Interface,
DOI: 10.1098/rsif.2011.0255)

සෙරින්ගෙටි මාර්ගයේ සත්‍ය තත්ත්වය

ටැන්සානියාවේ පිහිටා ඇති සෙරින්ගෙටි වනෝද්‍යානය හරහා ඉදිකිරීමට යෝජනා කළ මහා මාර්ගය පිළිබඳ අදහස සම්පූර්ණයෙන් ම නවතා දමා නොමැති බව එරටින් ලැබෙන වාර්තා අනුව පෙනේ. තාර දැමූ මාර්ගයක්‌ වෙනුවට තාර නොදැමූ මාර්ගයක්‌ ඉදි කිරීමට යෝජනා වී ඇති අතර, එහි රථවාහන ධාවන වන සතුන්ගේ සංක්‍රමණයට බාධා නොවන ආකාරයෙන් පාලනය කිරීමට වනෝද්‍යාන නිලධාරීන් විසින් කටයුතු කිරීමට ද නියමිත ය. මේ මාර්ගය කිලෝමීටර් 53ක්‌ පමණ දිගු වේ. මේ කරුණු අනාවරණය කර ඇත්තේ එරට අදාළ විෂය භාර අමාත්‍යවරයෙකි.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය