ජල විදුලිය

විදුලි බලය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වශයෙන් යොදා ගන්නා බල ශක්ති ප‍්‍රභවයක් වන්නේ ජලයයි. ශ‍්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ ගංගා ගලායන මාර්ග හරස් කර වේලි බැඳ ඒ ආශ‍්‍රයෙන් විදුලිය නිපදවීම සිදු කරනු ලබනවා. වේල්ලක් ඉදි කිරීමෙන් ඉදිවන ජලාශයේ ඇති විභව ශක්තිය, ටර්බයිනයක් කරකැවීම මගින් චාලක ශක්තිය බවටත්, ඉන් පසු විද්‍යුත් ශක්තිය බවටත් පරිවර්තනය කෙරෙනවා. මෙසේ නිපැදවෙන විදුලිය රැහැන් ඔස්සේ අවශ්‍ය ප‍්‍රදේශවලට බෙදා හැරීම සිදු කෙරෙනවා.මෙරට විදුලිබල අවශ්‍යතාවෙන් 48% ක් පමණ ජල විදුලි බලාගාර මගින් නිපදවෙන අතර 52% ක් පමණ තාප විදුලි බලාගාර මගින් නිපදවාගනු ලබනවා. මේ අනුව අපගේ විදුලි බල පද්ධතිය ලංකා විදුල බල මණ්ඩලය සතු බලාගාර හා පෞද්ගලික අංශය සතු බලාගාර වශයෙන් කොටස් දෙකකට බෙදී යනවා. මේ අතුරින් ලංකා විදුලි බල මණ්ඩලය සතු විදුලි බලාගාර ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. එනම්,1. ලක්ෂපාන විදුලි බලාගාර සමූහය2 . මහවැලි විදුලි බලාගාර සමූහය3. අනෙකුත් ජල විදුලි බලාගාර ලෙසයි.කැලණි ගඟේ ආරම්භක අතු ගංගා 2 ක් වන කෙහෙල්ගමු ඔය සහ මස්කෙළිය ඔය ආශ‍්‍රිතව පිහිටි කාසල්රී සහ මාඋස්සාකැලේ යන විශාල ජලාශයන් ද, කැනියොන්, නෝර්ටන් සහ ලක්ෂපාන යන කුඩා ජලාශයන් ද ආශ‍්‍රිතව පිහිටි ජල විදුලි බලාගාර 5 ක් ලක්ෂපාන සමුහයට අයත් වෙනවා. ඒවායින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 335 ක් පමණ විදුලිය ප‍්‍රමාණයක් එක්වෙනවා.මහවැලි ගංගාව ආශ‍්‍රිතව කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකරන ලද ජලාශ ආශ‍්‍රිතව ඉදිකරන ලද බලාගාර මගින් ද ජාතික විදුලි බල පද්ධතියට විශාල විදුලිය ප‍්‍රමාණයක් එක් කෙරනු ලබනවා. ඒ අනුව මහවැලි බලාගාර සමූහය මගින් ජනනය කරනු ලබන විදුලිය ප‍්‍රමාණය මෙගා වොට් 660 ක් පමණ වෙනවා.මේ හැරුණු විට සමනළ වැව (මෙ. වො. 120) සහ විවිධ ස්ථානවල පිහිටි කුඩා විදුලි බලාගාර මගින් මෙ. වො. 20 ක් ඇතුළුව මෙ. වො. 140 ක විදුල ප‍්‍රමාණයක් අනෙකුත් ජල විදුලි බලාගාර මගින් නිපදවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනු ලබනවා.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය