එළිය දෙන රටට විකල්ප බලශක්ති

නාගතයේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස විකල්ප බලශක්ති ප්‍රභේද හඳුනා ගැනීම කෙරෙහි ලොව පුරා අවධානය යොමු වී ඇත. නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි බව ශක්තිය පුනර්ජනනීය බලශක්තිය ලෙස අර්ථ දැක්විය හැකිය. ජල විදුලිය, සුළං, ඩෙන්ඩ්‍රෝ, මුහුදු රළ, කෘෂිකාර්මික හා කාර්මික අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය හා භූ තාපය අප රට තුළ බලශක්තිය නිපදවිය හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුනාගෙන ඇත.
මෙලෙස ලොව පුරා රටවල් තම රටට ගැළපෙන විකල්ප බලශක්තීන් වෙත යොමු වෙමින් පවතී. එමෙන්ම බලශක්තීන්ගෙන් පරිපූර්ණ රටවල්ද බලශක්ති සංරක්ෂණය හා පුනර්ජනනීය බලශක්තීන් කෙරේ යොමු වීමේ සම්මුතියකට එළඹී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවද 1985 දී බලශක්ති සංරක්ෂණ අරමුදල පිහිටුවන ලදී. මෙමඟින් තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් සූර්ය බලශක්තිය සුළං හා කුඩා ජල විදුලි බලාගාර වැනි පුනර්ජනනීය බලශක්තීන් වැඩි දියුණු කිරීමටත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් හා පාසල් දරුවන් දැනුවත් කිරීමටත් පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ දිනකට විදුලිය අවශ්‍යතාව ගිගාවොට් පැය 33 ක් වේ. මෙය වාර්ෂිකව 10 % කින් ඉහළ නැංවේ. මේ වන විට විදුලිය අවශ්‍යතාවයෙන් 92 % ක් සම්පූර්ණ කර ඇති අතර 2012 අවසන් වන විට වැඩි වන වාර්ෂික ඉල්ලුමත් සමගම එය 100% දක්වා සම්පූර්ණ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාරවලින් මෙගා වොට් 1207 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.
සපුගස්කන්ද හා කැලණිතිස්ස තාප විදුලිබලාගාරවලින් මෙගාවොට් 548 ක්ද කෙළවරපිටිය තාප බලාගාරය මඟින් මෙගා වොට් 270 ක්ද පුද්ගලික අංශයට අයත් ඉන්ධනවලින් ක්‍රියාත්මක වන බලාගාර මඟින් මෙගා වොට් 837 ක විදුලිය ධාරිතාවයක්ද විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා පද්ධතියට එක් කෙරේ. එමෙන්ම පුත්තලම ගල් අඟුරු බලාගාරය මගින් මෙගා වොට් 300 ක්ද පද්ධතියට එක් කෙරේ.
ඉදිරියේදී ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයෙන් මෙගා වොට් 150 ක්ද පුත්තලම ලක් විජය ගල් අගුරු බලාගාරය මගින් තවත් මෙගාවොට් 600 ක ධාරිතාවයක්ද ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතය. මේ වන විට ලොවේ ප්‍රධානතම බලශක්ති ප්‍රභවයන් වන්නේ තෙල්, ගල් අඟුරු හා ගෑස් යන බලශක්ති ප්‍රභවයන් වේ. මෙම පොසිල ඉන්ධනයන් අනාගතයේදී නැති වී යාමේ තර්ජනයක් මතු වී තිබේ.
ඛනිජ තෙල් සම්පත තවත් වසර 60 කට වඩා ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වනු අතැයිද ගෑස් තවත් වසර 60 කට ද ගල් අඟුරු තවත් වසර 200 - 220 ත් අතර කාලයකට වඩා ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වනු ඇතැයිද විශ්වාස කෙරේ. ඒවා වඩාත් ශීඝ්‍රයෙන් මිනිසාගේ ප්‍රයෝජනයට යොදා ගැනීම නිසා ලොව පුරා බෙදීමේ රටාවක් පවතී. එමෙන්ම ඉන්ධන මිල ඉහළ යාම සිදු වෙමින් පවතින අතර මේ නිසා එය දුප්පත් රටවලට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
එමෙන්ම පොසිල ඉන්ධන දහනයේදී කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි වායුන් පිට වේ. ගෝලීය උණුසුමෙන් 70 % කට වගකිව යුත්තේද මෙම වායුන් බව හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් අයිස් කඳු දියවීම සුළි සුළං ඇතිවීම අකුණු සර වැඩි වීම නියඟයන් වැනි ස්වභාවික විපත් ඇතිවේ. ඊට අමතරව ඇතැම් ජීව විශේ්ෂ වඳ වී යාමේ තර්ජනයක්ද මතු වී ඇත. මේ අනුව බලන කල බලශක්ති හිඟයටත් ගෝලීය උණුසුමට ඇතිවන බලපෑමත් අවම කිරීම සඳහා වෙනත් විකල්ප බලශක්ති ප්‍රභවයන් සොයා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම දැනට හඳුනාගෙන ඇති පුනර්ජනනීය බලශක්තීන් වර්ධනය කර ගැනීම කෙරේ ලෝකයේ අවධානය යොමු වී ඇත.
මේ වන විට බලශක්තිය නිපදවීමේදී පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 7 % ක් වන අතර 2015 වන විට එය 10 % දක්වා වර්ධනය කිරීම සුනිත්‍ය බලශක්ති අධිකාරියෙහි අපේක්ෂාවයි. එයින් විශාල කොටසක් ලැබෙනුයේ ජල විදුලිය මගිනි. කුඩා ජල විදුලි බලාගාර මගින් විදුලිය ලබා ගත හැකි ඉහළම සීමාව වෙත මේ වන විට ළඟා වෙමින් පවතින බැවින් ඉතිරි 3 % ක් ලබා ගත යුතුව ඇත්තේ සුළං සූර්ය හා ජෛව ස්කන්ධ මගිනි. ශ්‍රී ලංකාව තුළ වූ පුනර්ජනනීීය බලශක්ති ප්‍රභවයන් අතරට සුළං කුඩා ජල විදුලි බලාගාර, මුහුදු රළ හා භූ තාපය (පොළොවේ උෂ්ණත්වය මගින්) කැළිකසළ, සත්ව අපද්‍රව්‍ය, කෘෂිකාර්මික හා කාර්මික අපද්‍රව්‍ය හා දැව අයත් වේ. මේවායින් බලශක්තිය නිපදවීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
පෞද්ගලික අංශයට අයත් කුඩා සුළං බලාගාර 4 ක් මේ වන විට පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත. මින් මෙගා වොට් 30 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. හම්බන්තොට තවත් එක් සුළං බලාගාරයක් ක්‍රියාත්මක වන අතර එමගින් මෙගාවොට් 3 ක්ද ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. මන්නාරම් දූපතේ කරන ලද පර්යේෂණයන්ට අනුව රටේ වෙරළබඩ කලාපයේ විශිෂ්ට බලශක්තියක් සහිත සුළං ධාරිතා හැකියාවක් ඇති බව හඳුනාගෙන ඇත. එබැවින් ප්‍රථම විශේෂ සුළං බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබිණි. මේ සඳහා වන තාක්ෂණික සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව එකඟ වී ඇත.
මෙම බලශක්ති ප්‍රභවයන්ට අමතරව අප රට තුළ ඉතා සුලබව සපයා ගත හැකි සම්පතකි සූර්ය බලශක්තිය. විකල්ප බලශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සූර්ය බලශක්ති බලාගාරය පසුගියදා හම්බන්තොට බරුත කන්දේදී ආරම්භ කෙරිණ. රුපියල් මිලියන 417 ක් වූ කොරියන් රජයේ ආධාර යටතේ ඉදිකෙරුණු මෙම බලාගාරය මගින් කි. වොට් 500 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. තවත් සූර්ය බලාගාරයක් මෙම සූර්ය බලශක්ති උද්‍යානය තුළ ඉදිවී ඇති අතර එය ඉදිරියේදී මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කිරීමට නියමිතය. ජපන් ආධාර යටතේ ඉදිවන මෙම බලාගාරය
වර්තමානයේ කැළි කසල බැහැර කිරීම විශාල ජාතික ප්‍රශ්නයක් බවට පත් වී ඇත. මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලෙසද පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස කැළි කසල යොදා ගැනීම කෙරේ අවධානය යොමු කර ඇත. එමෙන්ම සත්ව අපද්‍රව්‍ය යොදා ගෙන ජීව වායුව නිපදවීම කෙරේද අවධානය යොමු කර ඇති අතර මේ වන විට ගෘහස්ත මට්ටමෙන් විදුලිය නිපදවා ගැනීම සඳහා මෙම ක්‍රමය උපයෝගී කර ගනී. පිදුරු දහයියා ලී කුඩු දැව වැනි කෘෂි කාර්මික අපද්‍රව්‍ය මගින්ද බලශක්තිය නිපදවීමට යොමු වෙමින් පවතී. පොළොන්නරුවෙහි පිහිටා ඇති දහයියා බලාගාරය මගින් මෙගාවොට් 3 ක බලශක්තිය නිපදවයි. ත්‍රිකුණාමලයෙහි සිමෙන්ති කම්හලෙහි දැව මඟින් මෙගාවොට් 10ක ධාරිතාවයක විදුලිය නිෂ්පාදනය කරනු ලබයි.
ස්වීඩනය ජර්මනිය වැනි රටවල ප්‍රධාන නගර ආශ්‍රිත පොදු බස් ප්‍රවාහනය සඳහා යොදා ගනුයේ ජීව වායුවයි. මෙමගින් ශබ්ද දූෂණය ද අඩුවන අතර ප්‍රවාහන වියදම් ද බොහෝ අඩුවේ. වනාන්තර විනාශ නොකර ගිනි සීරියා වැනි ශාක වවා ඒවා දහනයෙන් බලශක්තිය නිපදවීම කෙරේද අවධානය යොමු වෙමින් පවතී. කෘෂිකාර්මික අපද්‍රව්‍ය මගින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති 2 ක් මගින් තවත් මෙගාවොට් 11 ක් ජාතික විදුලි පද්ධතියට එක්කෙරෙන අතර තවත් ව්‍යාපෘති 3 ක් මඟින් මෙගා වොට් 6 ක් නිපදවනු ඇත. වසර 2000ක පැරැණි පාෂාණ ඇති රටවල භූ තාපය අඩු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ එක් තීරුවක එනම් ත්‍රීකුණාමලය හා හම්බන්තොට උස්සන්ගොඩ අතර කි. මි. 350 ක ප්‍රදේශයක භූ තාපය අධික බව හඳුනා ගෙන ඇත.
ත්‍රීකුණාමලය පොලොන්නරුව යන ප්‍රදේශවල රේඛියවත් බදුල්ල මොනරාගල යන ප්‍රදේශවල කවාකාරවත් නැවත උඩ වලව හා උස්සන්ගොඩ ප්‍රදේශවල රේඛීයවත් මෙම භූ තාපය පැතිරි ඇති බව සමීක්ෂණවලින් අනාවරණය වී ඇත. මෙම භූ පැල්මට ආසන්නව උණු දිය උල්පත් 11 ක් පිහිටා තිබෙනුයේ මෙම හේතුව නිසා බව හඳුනා ගෙන ඇත. මූලික අධ්‍යයන ආයතනය මඟින් මෙම සමීක්‍ෂණය සිදු කරන අතර එංගලන්තය කැනඩාව යන රටවල විශේෂඥයන්ගේ සහාය මේ සඳහා ලැබී ඇත. ස්කොට්ලන්ත ජාතික බෲස් හොබ්ස් හා ශ්‍රී ලාංකීය විශේෂඥයෙක් වන ආචාර්ය මොරල් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මෙම කාර්යයෙහි නියැලී සිටී.
ලංකාවේ මින් පෙර සිදු නොවුණු නූතන තාක්ෂණය උපයෝගී කර ගෙන පර්යේෂණ සිදු කරන අතර පොළව යට ඇති චුම්බකත්වය හා ප්‍රතිරෝධතාවයන් මැනීම මඟින් පොළොව තුළ කි. මී. 100 ක දත්තයන් හඳුනා ගත හැකිය. මෙලෙස ප්‍රධාන බලශක්තී ප්‍රභවයන් මෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලිබල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ගන්නා උත්සාහය සාර්ථක කර ගැනීම සදහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී. මේ යටතේ සිදු කරන ලද ග්‍රාම ශක්ති වැඩසටහනින් කරන ලද සමීක්ෂණයකින් ජාතික පද්ධතියෙන් විදුලිය ලබා දිය නොහැකි දුෂ්කර ගම්මානයන්හි පවුල් 37818 ක් තිබෙන බව හඳුනා ගෙන ඇත.
මෙම නිවාස විදුලිබල මණ්ඩලයට ඉදිරි වසර 5 ඇතුළත විදුලිය ලබා දිය නොහැකි ගම්මානයන්ය. මොවුන් සඳහා ග්‍රාමශක්ති වැඩසටහන යටතේ සූර්ය බළශක්තියෙන් විදුලිය නිපදවිය හැකි උපකරණ ලබාදීමටත් සැලසුම් කර ඇත. ‍ෙමලෙස ජනනය කර ගන්නා විදුලිය රටේ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයයි. එමෙන්ම සැමට විදුලිය සංකල්පය සාක්ෂාත් කර ගැනීමේ ජනපති තුමන්ගේ අපේක්ෂාව 2012 වසරේදී සපිරීමත් සමගම මෙතුවක් කල් දේශපාලන පොරොන්දුවක් හා ජනතාවගේ සිහිනයක්ව පැවති සැමට විදුලිය තවදුරටත් සිහිනයක් නොවනු ඇත.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය